පොළොව යටින් හොර පාස්පෝට් කන්තෝරුවක් හමු වෙයි

පන්නල ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යමින් තිබූ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන භූගත කාර්යාලයක් එහි සිටි වයස අවුරුදු 22 සහ 23 පසුවන තරුණයන් දෙදෙනෙකු සහ ඒවා සකස් කිරීමට යොදා ගෙන තිබූ යන්ත්‍ර ද පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් සහ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) දින අත් අඩංගුවට ගෙන තිබේ.මෙම නිවස පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ අතර නිලධාරීන් පන්නල , ඇළබඩගම ප්‍රදේශයේ තිබූ එම නිවස වටලා , එහි බිම අතුරා තිබූ පිඟන් ගඩොල් හතරක් ඉවත් කර මෙම භූගත මුද්‍රණාල සංකීර්ණය වෙත පිවිස ඇත.මෙම මුද්‍රණාලය තුළ තිබී විදෙස් රටවලින් නිකුත් කරන ආකාරයේ උසස් ගුණාත්මක තත්වයෙන් යුතු අති නවීන මුද්‍රණ උපකරණ විවිධ රටවල සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා සමාන නිල මුද්‍රා , ජල මුද්‍රා සටහන් කළ හැකි මුද්‍රණ යන්ත්‍ර ඇතුළු තවත් නවීනතම යන්ත්‍ර රාශියක් අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා සහ මෙම මුද්‍රණාලය තුළ පැවති මුද්‍රණ උපකරණ සහ යන්ත්‍ර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ , කිරුලපන පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම , ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.

කාලීන පුවත්