බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ වන නයනා හා පස් හැවිරිදි පුතා හදිසි රිය අනතුරකට මුහුණ පායි බිරිඳ මියයන අතර . පුතාගේ ජීවිතය රැකුණත් ඔහු අතුරුදහන් වෙයි. බිරිඳගේ අවසන් කටයුතු නිම කරන බලගල්ල පුතා සොයා ගැනීමට ගත් උත්සාහය අත්හැර ආපසු ලංකාවට ගොස් වසර 25 කට පසුව ආපසු කූබ පිඩියට පැමිණ, බිරිඳ ගේ සුසානයට ගොස් අතීතාවර්ජනයක යෙදෙන අතර, අතුරුදහන් වූ පුතා ගැනද විපරම් කලත් මේ වනවිට තරුණයකුවන පුතාට පියා මුනගැසෙන අවස්ථා තිබුනත්, ඔවුනොවුන් එකිනෙකාට හඳුනා ගැනීමට නොහැකි වෙයි . කාලය ගතවන අතර, අතුරුදහන් වූ පුතාගේ පෙම්වතිය වන තාරා හදිසියේ හමුවෙයි . ඇය මිය ගිය තම බිරිඳ ගේ හැඩරුවට බොහෝ සේ සමාන වීම නිසා වික්ෂිප්ත වන වියපත් හෘද රෝගියකුවන බලගල්ල ගේ හෘදයාබාධය උත්සන්නව තාරා ගේ දෝත මත අවසන් සුසුම් හෙලයි.

පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හා කූබ පිඩි වලදී රූ ගතකළ SHADOW නමැති සිනමා කෘතියේ කතා සාරය එයයි . ප්‍රධාන කාන්තා චරිත ද්වය නිරූපනය කළේ, ශ්‍රී ලංකාවේ නව පරපුරේ ජනප්‍රිය සම්මාන ලාභී දක්ෂ යොවුන් රූපණ ශිල්පිනියක වන නයනතාරා යි . මහාචාර්යවරයා ගේ තරුණ වියේ බිරිඳ ලෙස දරුවකු සිටින මවක් හැටියටත්, එම දරුවා විසි වසරකට පසුව තරුණ යකු වනවිට ( කුසල් මධුරංඟ)ඔහුගේ පෙම්වතිය ලෙසත්, ද්විත්ව චරිත නිරූපණයක යෙදීම අගය කළ යුතුය.
චරිතවල ස්වරූපයන්,ගුණයන්,හා අවස්ථාවන් මැනවින් අවබොධ කරගෙන චරිත අභ්‍යන්තරට පිවිසීමි ප්‍රශස්ථ බවයි මගේ වැටහීම.මා කිසි දිනෙක ලංකාවේ සම්මාන උලෙළකදීවත් හමුනොවී, ඇය සමග කිසිදු නිර්මාණ කාර්යයකට සම්බන්ධනොවී සිටි නිසා ඇයගේ රංඟකාර්යන් ගැන නිරීක්ෂණය කළේ, මේ දිනවල විකාශය වන ලලිත් රත්නායකගේ ” ජීවිතයේ එක් දවසක් ” ටෙලි නිර්මාණයේ ඇය දක්වන ප්‍රතිභාව පිලිබඳ ඇතිවූ ප්‍රසාද සිත් ඇතිවය.
නයනතාරා ගේ වෘත්තීය විනය හා ශික්ෂණය, වෘත්තීය වේදී ශිල්පීන්ට, කුසලතාවයට අමතරව තිබිය යුතු අත්‍යාවශ්‍ය ගුණයක් බව සඳහන් කරන්නේ, ලංකාවේ දර්ශන තලයන්හිදී මා ලද අත්දැකීම් වලට අනුවය.

ප්‍රතිනිර්මාණය කරන චරිතතුල ඇය මනසින් ජීවත්වන බව මට පසක් වූයේ, ඇයගේ දෝත මත අවසන් සුසුම් ලෙන මහාචාර්යවරයා ගේ මුහුණ මතට ඇගෙ දෙනෙතින් කඳුළු කැට පතිත වූයේ, ගිලිසරින් තැවරීමකින් තොරවම නිසාය.
ජාත්‍යන්තර සම්මානලාභී අනෝජා වීරසිංහ නම් ප්‍රතිභා සම්පන්න රූපණ වේදිනියගේ ශිල්ප අභ්‍යාසයෙන් කුසලතා ඔපවත් වූ නයනතාරා වික්‍රමආරච්චි යොවුන් රූපණ ශිල්පිනිය ලංකාවේ සිනමා හා ටෙලිවිෂන් තිරයට අර්ථවත් ආලෝකයක් වනබව ඇයගේ භාවිතය විසින් තහවුරු වන බව සතුටින් සඳහන් කරමි.
SHADOW ..සිනමාව හා ටෙලිවිෂන් මාධ්‍යයට පෙම් බඳින ඕස්ට්‍රේලියා වාසී චාලක ජයසිංහ ගේ සිනමා කාර්යයක් වන අතර, එයට ශ්‍රී ලංකාවෙන් ජේෂ්ඨ අංගරචනා හා රූපණ ශිල්පි වසන්ත විට්ටච්චි,රංඟ ශිල්පි කුසල් මධුරංඟ,කැමරාකරණයට අමිත් සමග මංජුල සූරියාරච්චි හා සහාය අධ්‍යක්ෂණයට ප්‍රදීප් මානවඩු. ඕස්ට්‍රේලියාවෙන් ධම්මික පීරිස්,චන්දු ජයසිංහ,නිපැයුම් කලමනාකරණයෙන් ෂානිකා ජයසිංහ,නිපැයුම් සහයට විජිතා හිඳුරන්ගල, රවීන් හරින්ත,ඩිලානි කෞෂල්‍යා,හා ලහිරු රාජපක්‍ෂ දායක වුහ.

බුද්ධදාස විතානාරච්චි

රසගඟුල