බුදු දහමට ලැදි ප්‍රියංකා ගාන්ධි ඉන්දියාවේ අගමැති වෙයි ද?

ඉන්දියාවේ ප්‍රකට අගමැතිවරයකු වූ රජීව් ගාන්ධිගේත් ඔහුගේ බිරිඳ සෝනියා ගාන්ධිගේත් දියණිය වන ප්‍රියංකා ගාන්ධි පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වීමට සූදානම් වන බව වාර්තා වේ. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත අතර ප්‍රියංකා ද එහි දී තරග කිරීමට සැරසෙන බැව් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය ඉන්දියාව තුළ ජනප්‍රිය චරිතයක් නිසා මෙම ආරංචිය දේශපාලන ක්‍ෂේත්‍රය තුළ යම් උද්යෝගයක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ.

ප්‍රියංකා රජිව් ගාන්ධි- සෝනියා ගාන්ධි යුවළගේ බාල දියණිය යි. රහුල් ගාන්ධි ඇයගේ වැඩිමල් සහෝදරයා ය. ඉන්දියාවේ ප්‍රධාන ආගම හින්දු ආගම වුවත් ප්‍රියංකා බුදු දහමට ඉතා ලැදි කෙනෙකු බව ද සඳහන් වේ. ඇය බුදු දහම පිලිබඳව විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ද ලබා ඇති අතර ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කරගෙන ඇත. බෞද්ධ භාවනා ක්‍රම සම්බන්ධයෙන් ද ප්‍රියංකා විශාල උනන්දුවක් දක්වන බව සඳහන් වේ.

මේ වනවිට 52 වැනි වියෙහි පසුවන ප්‍රියංකාට දේශපාලනය තුළ සාර්ථක ගමනක් යාමට හැකි වේවි ද? මෙවර මැතිවරණයට ඇය ඉදිරිපත් වුවහොත් ඒ ගැන යම් අදහසක් ඇති කර ගැනීමට හැකි වනු ඇත. ගාන්ධි පවුලේ සෙසු ප්‍රධානීන් මෙන්ම ප්‍රියංකා ද අයත් වන්නේ ඉන්දීය ජාතික කොංග්‍රසය නම් පක්‍ෂයට යි. ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි වැනි දැවැන්තයන් ද අයත් වූයේ මෙම පක්‍ෂයට ය. මේ වනවිට ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන්නේ ද එය යි. වත්මන් ආණ්ඩු පක්‍ෂය වන නරේන්‍ද්‍ර මෝදි අයත් භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා ද ඉන්දීය ජාතික කොංග්‍රසය යි.

කෙසේ නමුත් කොංග්‍රස් පක්‍ෂය මේ වනවිට සිටින්නේ තරමක් දුර්වල තත්ත්වයක ය. 2014 වසරේ සිටම එරට බලය හොබවන්නේ අගමැති මෝදි සහ ඔහුගේ පක්‍ෂය යි. මෝදි ගේ ප්‍රබල නායකත්වය නිසා එම පක්‍ෂය පරාජය කිරීම අතිශයින් දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ. කොංග්‍රස් පක්‍ෂයේ නායකත්වය දරන්නේ සෝනියා ගාන්ධි සහ රහුල් ගාන්ධි දෙදෙනා යි. නමුත් මෝදි ට අභියෝගයක් එල්ල කිරීම ඔවුන්ට අපහසු වී ඇති බව පෙනේ. මෙම පසුබිම තුළ මෝදිට තරගයක් දීමට හැකි චරිතය ප්‍රියංකා ගාන්ධි බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.

ප්‍රියංකාගේ පෙනුම ඇයගේ මිත්තණිය වූ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිට තරමක් සමාන ය. මෙය ද ප්‍රියංකාගේ ජනප්‍රියත්වයට බලපා ඇති බව විශ්වාස කෙරේ. ඇය පක්‍ෂ නායකත්වයට පත් කළ යුතු බවට ද, මෙවර මැතිවරණයේ දී කොංග්‍රස් පක්‍ෂයේ අගමැති අපේක්‍ෂිකාව ඇය විය යුතු බවට ද යෝජනා ඉදිරිපත්ව තිබේ. එසේ වුවහොත් අගමැති මෝදිට සහ භාරතීය ජනතා පක්‍ෂයට අභියෝගයක් එල්ල කළ හැකි වනු ඇති බව එම පක්‍ෂයේ විශාල පිරිසකගේ අදහස යි.

සමහරුන් පවසන්නේ ප්‍රියංකා නරේන්‍ද්‍ර මෝදි තරග කරන වරනාසි නැමැති ආසනයෙන්ම මැතිවරණයට තරග කළ යුතු බවයි. එසේ වුවහොත් ඇය අතින් මෝදි පරාජයට පත් වීමට පවා ඉඩ ඇති බව ඇතැම්හු පෙන්වා දෙති. නමුත් එය එතරම් පහසු වනු ඇතැයි සිතිය හැකි නොවේ. අගමැති මෝදි ජනතාව අතර අතිශයින් ජනප්‍රිය නායකයකු බව අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ හෝ වේවා, ප්‍රියංකා මැතිවරණයට තරග කරනු ඇතැයි පැවසෙන්නේ ද විශේෂ ආසනයකිනි. ඒ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි රයිබරෙලි නැමැති ආසනය යි. එය කලකට පෙර ඉන්දිරා ගාන්ධි පවා නියෝජනය කළ ආසනයක් වන අතර කොංග්‍රස් පක්‍ෂයේ බලකොටුවක් ලෙස සැලකේ. පසුගිය කාලයේ එය නියෝජනය කළේ ප්‍රියංකාගේ මව වන සෝනියා ගාන්ධි ය. ඇය පිට පිට පස් වතාවක්ම මෙම ආසනය ජය ගත්තාය.

ප්‍රියංකා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ඇති බවට මුලින්ම ඉඟි පළ වූයේ මෙවර මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව සෝනියා ගාන්ධි පැවසීමත් සමග ය. ඇය මේ ආකාරයෙන් තරගයෙන් ඉවත් වූයේ සිය දියණියට අවස්ථාව ලබා දීමට බව පෙනිණි. ප්‍රියංකාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් දැනටමත් රයිබරෙලි ආසනයේ පෝස්ටර සහ බැනර ප්‍රදර්ශණය කර ඇති බව ද සඳහන් වේ.

ප්‍රියංකා උපන්නේ 1972 වසරේ ය. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇයගේ පියා රජීව් ගාන්ධි මිය යන විට ඇයගේ වයස අවුරුදු 19 ක් පමණි. ගාන්ධි පවුලටම තිබූ ආරක්‍ෂක තර්ජන නිසා කලක් ප්‍රියංකාට සහ රහුල්ට පාසල් යාම පවා අනතුරුදායක වී තිබිණි. ඒ කාලයේ ඔවුන්ට අධ්‍යාපනය ලබා දී තිබුණේ නිවසට ගෙන්වන ලද ගුරුවරුන්ගෙනි.

ප්‍රියංකා විවාහ වී සිටින්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන රොබට් වද්‍රා සමග යි. ප්‍රියංකා-රොබට් යුවළට දරුවෝ දෙදෙනෙක් වෙති. වැඩිමලා පුතෙකු වන අතර ඔහුගේ නම රේහාන් වද්‍රා ය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 23 කි. බාලයා දියණියකි. මිරායා නම් වන ඇය 21 වැනි වියෙහි පසුවෙයි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර