මස් මාංශ අනුභවය සැබෑ කිතුණු උරුමයක් නොවේ;මෙන්න සාක්ෂි

kithunu

“කතෝලික මිනිස්සු කොහොමත් හොඳට මස් මාළු කන මිනිස්සුනේ” යැයි අප බොහෝ දෙනෙක් පවසන දෙයකි. එසේ පැවසෙන්නේ කිතුනුවන්ගේ කුමන උත්සවයක දී වුව එහි මස් වර්ග කිහිපයක්, මාළු වර්ග කිහිපයක් වරදින්නේ නැති නිසා ය. කෙසේ වෙතත් මාංශ ආහාරයෙන් තොර කිතුනුවන් ද නැතිවාම නොවේ. මස් මාළු නොකන අය දෙස කිතුනුවන් බොහෝ දෙනෙක් බලන්නේ, “අපෝ ඔයා චිකන් කෑල්ලක්වත් කන්නේ නැද්ද?” වැනි දෙයක් පවසමිනි.එමෙන්ම මාංශමය ආහාර භුක්ති විඳීමේ අරමුණින් “නත්තල් කන්නට” කිතුණු නිවෙස් වලට යන බෞද්ධයෝ ද කොතෙකුත් සිටිති. අප රටේ මෙන්ම ලෝකයේ ද කිතුණුවන් ගෙන් බහුතරය කතෝලිකයෝ ය. කතෝලික සභාව හෙවත් රෝමානු කතෝලික සභාව, 2019 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3ක් සිටිති.

ලොව පැරණිතම සහ විශාලතම අවිච්ඡින්නව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන අතර එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ සංවර්ධනයෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.ඒ අතර වත්මන් කිතුණු සංස්කෘතියේ මස් මාංශ අනුභවය සඳහා මුල් තැනක් ලැබී තිබේ. නමුත් කිතුනු ඇදහිල්ලේ මූලාරම්භයට ගොස් බැලීමේ දී අපට හමුවන්නේ මෙයට වඩා වෙනස් කාරණාවකි. එනම් මාංශයෙන් තොරව එළවළු පමණක් ආහාරයට ගැනීම කිතුනුවන්ගේ ඇදහිල්ලේ සිටම පැමිණි පුරුද්දක් බව ය. කිතුනු ඇදහිල්ලේ මූලික කාරණා තුනක් හේතුකොටගෙන ඔවුන් එළවළු පමණක් කෑම පුරුද්දක් කරගෙන පැමිණ තිබේ. ඒවා නම්, අධ්‍යාත්මික බව, පෝෂණීය බව සහ ආචාර ධර්මානුූකූල බව යන ඒවා ය. මෙහි ආචාර ධර්මානුකුූල බව පැමිණ ඇත්තේ සියලුම සතුන් දෙවියන් වහන්සේගේ මැවීමක් ය යන සංකල්පය තුළිනි. සතුන්ට මිනිසුන් හා සමාන අයිතියක් ඇතිය යන්න එයින් ඉස්මතු කොට දක්වයි. අනෙකුත් සතුන්ගේ සුබසාධනය මිනිසාගේ වගකීමක් ය යන්නත් මෙහිදී මතුව එන කාරණයකි.

jesuuuu

කලින් සඳහන් කළා සේ කිතුනු ඇදහිල්ල තුළ මස් මාංශයෙන් තොර ශාකමය ආහාර ගැනීම කාලාන්තරයක් තිස්සේ පැවැත ආ සම්ප්‍රදායකි. මෙහි දී වඩාත් සැලකිල්ලට ගෙන ඇත්තේ ආධ්‍යාත්මික බව ය. මස් මාංශයෙන් තොර අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන තැනැත්තාට දෙවියන් වහන්සේ කරා වඩාත් පහසුවෙන් ළඟා විය හැකි බවට විශ්වාසයක් මූලික් කිතුනු ඇදහිල්ල තුළ තිබූ බව ඉතිහාසය සොයා යාමේ දී හමු වේ. විශේෂයෙන් පූජක දිවිපෙවෙතක් ගත කරන්නෙකු තුළ මෙය දැඩිව තිබිණි.

බයිබලයේ පැරණි ගිවිසුමේ උප්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ 1:29 සහ 30 වගන්තිවල මෙසේ දැක්වේ.
‘’1:29 – දෙවියන් වහන්සේ මෙසේ ද කීහ. “පොළොවේ සෑම තැනම වැඩෙන බීජ සහිත සියලු පැළෑටි ද පල දරන සියලු ගස් ද මා ඔබට දී තිබේ. ඒවා ඔබට ආහාර පිණිස දෙන්නෙමි. 1:30 පොළොවේ සියලු වනමෘගයන්ට ද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට ද පොළොව මත සැරිසරන අනිකුත් සියලු ජීවීන්ටද ආහාර පිණිස මම සියලු පලා වර්ග දෙන්නෙමි.” එය එසේ සිදු විය.”

මේ වගන්ති දෙක තුළ දෙවියන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව මිනිසුන් නොවන සියලුම සතුන්ට ශාක ආහාර නියම කොට ඇති බව පැහැදිලි ය. කිතුනු නිර්මාංශකයන් පෙන්වා දෙන්නේ මැවීමෙන් පසු සියලු දෙනා ශාක ආහාර ගත් බව ය. තමා ඒ අනුගමනය කළ ක්‍රමය නිවැරදි ය යන්න 31 වැනි වගන්තියෙන් මෙසේ පැහැදිලි කොට පෙන්වයි.
31 “ඉන්පසු දෙවියෝ තමන් සෑදූ සියල්ල දෙස බැලුහ. ඒ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව එතුමෝ දුටුවෝය. සවස් විය. උදය විය. ඒ හයවන දවසය.”

මිනිසා ඇතුළු සියලු සතුන් ජීවත් විය යුත්තේ ඒ ආකාරයට බව දෙවියන් වහන්සේ තීරණය කොට තිබූ බව ද මේ වගන්තිවලින් පැහැදිලි වේ. එමෙන්ම යෙසායා පොතේ 11 වැනි පරිච්ඡේදයේ 11:6 සිට 9 දක්වා වගන්තිවල මෙසේ දැක්වේ.

“11:6 ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත් එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවා ද තරුණ කේශර සිංහයාද තර වස්සා ද එකට ලගින්නෝය. කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය. 11:7 එළදෙනත් වැලහින්නත් එකට තණ කන්නෝ ය. උන්ගේ පැටවු ද එකට ලගින්නෝ ය. සිංහයාද ගොනා මෙන් පිදුරු කන්නේය. 11:8 කිරි බොන දරුවා නයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය. කිරි වැරූ දරුවා විෂ සර්පයෙකුගේ ගුල තුළට අත දමන්නේය. 11:9 මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත් විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.”

එහි සමාකාමී රාජ්‍ය්‍යක් පිළිබඳ එසේ සඳහන් වේ. එයින් පැහැදිලි කෙරෙන්නේ කිසිදු සතෙකු තවත් සතෙකුගේ ගොදුරක් බවට පත්වීමේ බියකින් පසු නොවන රාජ්‍යයක් පිළිබඳව ය. කිතුනු විශ්වාසය අනුව දෙවියන් වහන්සේ මත යම් දිනෙක නිර්මාණය කරනු ලබන්නේ ද එවැනි ලෝකයක් බව පැහැදිලි ය.නමුත් බයිබලයේ සඳහන් ඇතැම් කරුණු අනුව ජේසුස් වහන්සේ ධීවර ප්‍රජාවේ පාරම්පරික හිමි කම් උල්ලංඝනය කොට නොමැති බව හැඟවෙන කරුණු තිබේ.නමුත් එය උන් වහන්සේ මිනිසුන් ප්‍රාණඝාතය කෙරෙහි යොමු කරවන්නක් නොවන බව අතිශය පැහැදිලි ය.මේ අතර ක්‍රි.ව 13 වන සිය වසේ ජීවත් වූ ශාන්ත ෆ්‍රැන්සිස් තුමන් (අසීසි ) මිනිසුන්ට සේම සතුන්ටත් මෙලොව ජීවත් වීමේ සම උරුමය දෙවියන් වහන්සේ විසින් ප්‍රදානය කොට ඇති බව සෘජුවම පැවසූහ.එනිසාම කතෝලික සභාව සසුව උන් වහන්සේ සාන්තු වරයකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

බයිබලය සහ පැරණි කිතුනු මූලාශ්‍ර සොයා බැලීමේ දී කිතුනු ඇදහිල්ල තුළ ශාක සහිත ආහාර පමණක් පරිභෝජනය කිරීමේ පැහැදිලි සම්ප්‍රදායයක් තිබූ බවට තවත් බොහෝ සාධක බොහෝ හමු වේ. කලක් යටපත්ව තිබුණු මේ සම්ප්‍රදාය දැන් නැවතත් ඉස්මතුව තිබේ. ජේසුස් වහන්සේ උපත සිහිපත් කෙරෙන නත්තලේ මස් මාංශයෙන් තොර ශාකමය ආහාර පමණක් ගැනීමේ සම්ප්‍රදායයක් මේ වන විට කිතුනුවන් අතර අනුගමනය කෙරෙමින් පවතී. මෙය ඉංග්‍රීසි බසින් Vegan නමින් හඳුන්වනු ලබයි. අන්තර්ජාලය පිරික්සීමේ දී ශාක ආහාරවලින් පමණක් සැමරෙන නත්තල් උත්සවය සඳහා සැකසුණු ආහාර වට්ටෝරු බොහොමයක් දක්නට ලැබේ. එයින් ඉස්මතුවන කාරණය නම් මෑතක සිට නත්තල සමරන බොහෝ දෙනෙක් එදිනට එළවළු ආහාර පමණක් ගැනීම පිළිබඳ උනන්දු වන බව ය.මෙය දිනෙන් දින පරිනාමය වන මානව චින්තනයේ නව පෙරලිකාර අවස්ථාවකි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය