මහ කන්නයේ වී වගාවට රුපියල් බිලියන 9.6ක් ‌ගොවි ජනතාවට දී අවසන්

2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ඊයේ (04) වනවිට රුපියල් බිලියන 9.6ක් ‌ගොවි ජනතාව වෙත ලබා දී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද සඳහන් කරයි.හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක බැගින් ගොවීන් මිලියන 1.2කට එම මුදල් ලබා දීමට රජය තීරණය කරන ලදී.මේ වන තෙක් එම මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නැති බවට ඇතැම් ගොවි සංවිධානවල නියෝජිතයින් යැයි කියා ගන්නා පුද්ගලයින් මාධ්‍ය ඔස්සේ පළ කරන ප්‍රකාශ සම්බන්ධව අවධානය යොමු කරමින් ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීමේ වර්තමාන තත්ත්වය ගැන කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාගෙන් අද දින (05) කරුණු විමසීය.ඒ අනුව කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මේ වනවිටත් රුපියල් බිලියන 9.6ක මුදලක් ගොවි ගිණුම්වලටම බැර කර ඇති බවයි.

කාලීන පුවත්