මාස අටකට අධික කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ කොළඹ කොටුව සහ තලෛමන්නාරම තොට අතර දුම්රිය ධාවනය අද (24) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තලෛමන්නාරම දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් සෝදා යාම නිසා මෙම ධාවන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, මාර්ග අංශය විසින් මේ වන විට එම මාර්ගය පැයට කිලෝමීටර් 120ක වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි පරිදි සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇත. කෙසේ වෙතත්, ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී මාසයකට අධික කාලයක් ගතවුවද දුම්රිය එන්ජින් හිඟය ඇතුළු හේතු මත මෙම ගමනාගමන කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වූ බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර තිබුණි.නව කාලසටහනට අනුව දුම්රිය පස්වරු 3.50ට කොළඹ කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.28ට තලෛමන්නාරම තොට වෙත ළඟා වන අතර, යළි අලුයම 4.10ට තලෛමන්නාරම තොටින් පිටත්ව උදෑසන 10.44ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය. මීට පෙර මෙම මාර්ගයේ දිනපතා උදෑසන ගමන් වාර දෙකක් සහ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වූ අතර, උතුරු ප්‍රදේශයේ ජනතාව, ආරක්ෂක අංශ සාමාජිකයින් සහ මඩු දේවස්ථානය වෙත යන බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම සේවාව භාවිත කරති. තවද, මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහා පළමු පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම් ද සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.