මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් යුත් කවුන්සිලයක්

කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙම නව කවුන්සිලය පිහිටුවීමේ අරමුණ බවයි ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති කාර්යාලයේ දී පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කරයි.

මෙරට කෘෂිකර්ම අංශය නවීකරණ කිරීම වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති රාමුව, ඒ පිළිබඳව පත් කරන ලද විශේෂඥ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනී සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ.

මෙම ප්‍රතිපත්ති රාමුව ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, තිරසාර බව සහ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම, අන්තර්ගත වර්ධනය සහ ග්‍රාමීය සංවර්ධනය පෝෂණය කිරීම, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම, වෙළඳපොළ ප්‍රවේශය සහ වෙළඳාම වැඩි දියුණු කිරීම, ආයතනික ධාරිතාව සහ පාලනය ශක්තිමත් කිරීම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම යන කරුණු මූලික කර ගනිමින් කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සම්පාදනය කර ඇති බව සඳහන්.

මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26කින් ව්‍යාපෘති 26ක් තෝරාගෙන ඇති අතර එම නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා දැනටමත් මුදල් නිදහස් කර ඇති බව ද මෙහිදී සඳහන් කර තිබේ.

වී වගාව සහ අනෙකුත් කෘෂිකාර්මික භෝග මෙන්ම කිරි නිෂ්පාදනය සහ සත්ත්ව පාලනය ඇතුළු කෘෂිකර්මයේ විවිධ අංශ නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුව ඇති අතර වගා කටයුතු සඳහා අලුතින් ඉඩම් අක්කර 500,000ක් නිදහස් කිරීම මෙන්ම නවීන කෘෂි තාක්ෂණික ක්‍රම සඳහා මෙරට ගොවි ජනතාව යොමු කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම කෘෂි පර්වර්තන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය මෙන්ම විදේශ ආයෝජනවල සහය ලබා ගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින් සමඟ සාකච්ඡා කළ අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතිකිරීම සහ සහයෝගීතාවකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය ආයතන තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද අවධානයට යොමු කර තිබේ.

කාලීන පුවත්