මේ දවස් වල උණ රෝගියෙක් නැති ගෙදරක් හොයා ගන්න බැරි තරම් ලු.ඇයි ඒ? – කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියමාලී ජයසේකර

“මේ දවස්වල උණ රෝගියෙක් නැති ගෙදරක් හොයාගන්න අමාරුයි”
මෙය අද බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවකි. එපමණටම මේ දිනවල රටපුරා උණ රෝග පැතිර තිබේ.
මෙම උණ රෝග අතර බැක්ටීරියා සහ වෛරස් යන විෂබීජ දෙවර්ගයෙන්ම හටගන්නා රෝග ඇත.
වෛරස්වලින් හටගන්නා හට ගන්නා උණ රෝග අතර මේ දිනවල වැඩිපුරම දක්නට ලැබෙන්නේ ඩෙංගු රෝගයයි. පසුගිය කාලවලට වඩා මේ දිනවල වැඩියෙන් ඩෙංගු රෝගීන් දක්නට ඇති අතර ඒ නිසාම ඩෙංගු මරණ අනුපාතය ද වැඩි වී තිබේ. එසේම ඩෙංගු රෝගය ඉදිරි මාස දෙක තුන තුළදී තව දුරටත් වර්ධනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

මේ දිනවල බහුලව දක්නට ලැබෙන තවත් වෛරස රෝග දෙකක් වන්නේ කෝවිඩ් සහ ඉන්ෆ්ලුවන්සා ය. මේ හැරුණු විට තවම හඳුනා නොගත් වෛරස් රෝග ද ඉහත කී රෝග සමග ම දක්නට ලැබේ. මෙහිදී “හඳුනා නොගත්” යන්නෙන් අදහස් කරන්නේ නිරන්තරයෙන් විවිධ වෛරස් රෝග කලින් කලට පැමිණෙන අතර ඒවායෙන් විශාල හානියක් සිදු නොවන නිසා විශේෂයෙන් පරීක්ෂා කිරීමක් සිදු නොවන බැවිනි. සාමාන්‍යයෙන් විශේෂ පරීක්ෂාවට ලක්වන්නේ මිනිසාට හානි ඇති කරවන දරුණු වෛරස් වර්ග යි.

මේ හැරුණු විට මේ දිනවල දක්නට ලැබෙන තවත් දරුණු උණ රෝගයක් වන්නේ බැක්ටීරියාවක් මගින් බෝවන මී උණ යි.
මී උණ රෝගය වැළඳෙන බැක්ටීරියාව පවතින්නේ මීයාගේ ශරීරයේ ය. මෙම බැක්ටීරියාව එලෙස යම් මීයකුගේ ශරීරයේ තිබුණත් එයින් එම සතාට හානියක් නැත. නමුත් එවැනි මීයන්ගේ මුත්‍රා, කුඹුරු ආදියෙහි ජලයට කලවම් වූ විට එම ජලය මිනිසාට පෑගීම තුළින් බැක්ටීරියාව ශරීරගතවී මී උණ වැළඳෙයි. මෙකල අපේ රටේ මී උණ බහුලව පවතින්නේ මේ කුඹුරු වැඩ කරන කාලය නිසා ය. යල මහ කුඹුරු ගොවිතැන් කරන කාලයට මී උණ පැතිර යාම විශේෂයෙන් දැකිය හැකිය. නමුත් ඩෙංගු මෙන් මී උණ රෝගයද පුද්ගලයකුගෙන් පුද්ගලයෙකුට බෝවන්නේ නැත.
වෛරස රෝගයක් ලෙස කෝවිඩ් ද මේ දිනවල නැවත හිස ඔසවා තිබෙනු දැකිය හැකිය. විශේෂයෙන් මහජනතාව මේ වන විට මුව ආවරණ පැළඳීම අතහැර දමා ඇති නිසා කෝවිඩ් පමණක් නොව අනෙකුත් බොහෝ වෛරස් රෝග ද පෙරට වඩා ශීඝ්‍ර ලෙස පැතිර යාමක් දක්නට ලැබේ.

වෛරස නිසා ශ්වසන මාර්ගයේ උඩ කොටසේ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වැනි ලක්ෂණ බහුලව දැකිය හැකි අතර අවදානම් කාණ්ඩවල සිටින අය තුළ මේ තත්ත්වයන් වඩාත් වැඩියෙන් දක්නට පුළුවන. අවදානම් කාණ්ඩ යනු වයස්ගත පුද්ගලයන්, දියවැඩියාව, පිළිකා වැනි රෝගවලින් පෙළෙන ඖෂධ මත යැපෙන පුද්ගලයන්, වකුගඩු ආදී බරපතල සැත්කම්වලට භාජනය කරන ලද පුද්ගලයන්, ගැබිණි මව්වරුන් වැනි අයයි. විශේෂයෙන් ඉහත කී ආකාරයේ රෝගවලින් පෙළෙන සහ වයස්ගත පුද්ගලයන්ට ප්‍රතිශක්තිය අඩුවීම හේතුවෙන් මෙවැනි වෛරස් ආසාදන ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඇති වූ පසු ද්විතීයික ආසාදනයක් ලෙස ඇතැම් විට නිව්මෝනියාව වැනි රෝග තත්ත්වයන් වැළඳීමට අවකාශයක් තිබේ.

මෙම රෝගවල පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණ වන්නේ උණ, ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, සන්ධි කැක්කුම, සොටු දියර ගැලීම, කැස්ස, තද උණ ආදියයි. රෝගය සුව වුණත් ඇඟපත වේදනාව සෑහෙන දවසක් යන තුරු පැවතීම ද දැකිය හැකිය. ඉහත කී රෝග ලක්ෂණ සහිත රෝගියෙකුගේ එම ලක්ෂණ දිගින් දිගටම පවතී නම් දෙවැනි දිනයේ දී පමණ එම රෝගියා ඩෙංගු රෝගයෙන් පෙළෙන්නේ දැයි දැනගැනීමට රුධිර පරීක්ෂණ සිදු කෙරේ. FBC ( Full Blood Count) රුධිර පරීක්ෂණය තුළින් මෙම බොහෝ රෝග පිළිබඳව සෑහෙන දුරකට තහවුරු කරගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ඇත.

මී උණ රෝගයේ දී වැඩිපුර ම දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ ඉතාමත් තදින් දැනෙන මස්පිඬු වේදනාව යි. එවැනි රෝගියෙකු ආසන්න දිනවල කුඹුරු ආදියෙහි ගැවසුණේ නම් මී උණ සම්බන්ධ පරීක්ෂණ සිදුකර එම රෝගය දැයි තහවුරු කරගැනීමට පුළුවන.
මේ කිසිවක් නොවේ නම් වැඩිපුරම සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි ලක්ෂණ තිබෙන්නේ ඉන්ෆ්ලුවන්සා උණ නිසා විය හැකිය.
සාමාන්‍ය උණක් නම් දින දෙක තුනකින් එය පහවී යනු ඇත. ප්‍රතිකාර ලෙස මෙවැනි තත්ත්වයකදී දෙනු ලබන්නේ ආධාරක ප්‍රතිකාර හෙවත් supportive treatments ය. පැරසිටමෝල් ඖෂධය නියමිත මාත්‍රාවෙන් ගැනීම, විජලනය ඇති වීම වළක්වා ගැනීමට තැඹිලි වැනි පාන වර්ග ගැනීම මේ අතරින් ප්‍රධාන ය. රෝහලක දී නම් රෝගියාට සේලයින් ලබාදීම සිදුකළ හැකිය. ඉන්ෆ්ලුවන්සා තදබල තත්ත්වයක පවතින්නේ නම්, විශේෂයෙන් ඉහත කී අවදානම් කාණ්ඩයේ අයකුට එවැනි තත්වයක් ඇති වුවහොත් ඉන්ෆ්ලුවන්සා ප්‍රති වෛරස ඖෂධ ලබාදීමට සිදු විය හැකිය. බැක්ටීරියාවක් නිසා ඇතිවූ රෝග තත්ත්වයක් නම් ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට සිදු වේ. විශේෂයෙන් මී උණ රෝගය පවතින අයට ඉතා ඉක්මනින් අක්මාව, වකුගඩු ආදී සියලුම අවයවයන්ට එම බැක්ටීරියාවෙන් බලපෑම් ඇති වන නිසා ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ ආරම්භ කිරීම අත්‍යාවශ්‍ය ය.

මෙකල පවතින මෙම උණ රෝග නිසා බොහෝ රෝගීන් කරනු ලබන පැමිණිල්ලක් වන්නේ තදින් දැනෙන ඇඟපත වේදනාවයි. මෙය, රෝගය සුව වී සෑහෙන දවසක් යනතුරුත් පැවතීම අනෙක් විශේෂත්වය වේ. මෙම වේදනාව paracetamol මගින් අඩු නොවන විට ඇතැම් රෝගීන් NSAID ඖෂධ වර්ග ගැනීමට පෙළඹිය හැකිය. Ibuprofen, diclofenac sodium වැනි කාණ්ඩවලට අයත් මෙම ඖෂධ ගැනීම මෙවැනි රෝගීන් කිසිසේත් සිදු නොකළ යුතු අතර යම්කිසි ආකාරයකින් ඩෙංගු රෝගය රක්තපාත තත්ත්වයට පැමිණි රෝගියෙකු මෙවැනි ඖෂධ ගතහොත් සංකූලතාවයන් තවත් වැඩි වීමට හැකියාව ඇත. එනිසා කවර උණ රෝගියකු වුවද පැරසිටමෝල් නියමිත මාත්‍රාවට ගැනීම හැර ඇඟපතේ වේදනාව අඩු කර ගැනීම සඳහා වෙනත් ඖෂධ හිතුමතයට ගැනීම කිසිසේත් නොකළ යුතු වෙයි. වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම මෙහි දී ඉතාමත් වැදගත් වේ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියමාලි ජයසේකර

ඉන්දු පෙරේරා

විනිවිද සායනය