අපේ අබල දුබල සංචාරක කර්මාන්තය සවි බල ගැන්වීමට වෙර දරන පිටරැටියෝ

කිසිවෙක් කිසිවෙකුට නොමිලේ කිසිවක් දෙන්නේ නැති තරම් ය. විශේෂයෙන් අද පවතින දුෂ්කර අති දුෂ්කර ආර්ථික තත්ත්වයක් තුළ එවැන්නක් කරන්නට පෙලඹෙන කිසිවෙක් නැත. එසේ දෙනවා නම් එක්කෝ ඔහු අනේපිඬු සිටානන් මෙන් දානපතියෙක් විය යුතු ය. කෙසේ වෙතත් යූටියුබ් නාලිකාවන් තුළ සැරිසරමින් සිටිය දී අප රටේ මිනිසුන් සොයා යමින් මුදල් බෙදන විදේශිකයන් කිහිප දෙනෙකු පිළිබඳ අපුරූ වීඩියෝ සටහන් දැක ගත හැකි විය. මෙය ඇත්තක් ද යන්න එකවර අදහාගන්නට නොහැකි තරම් එම වීඩියෝ සටහන් අපූර්වත්වයෙන් පිරුණු ඒවා ය. එපමණක් නොව ඔවුහු ශ්‍රී ලංකාව, අප රටේ මිනිසුන්, සංස්කෘතිය ආදිය පිළිබඳ ඉතා ඉහළින් වර්ණනා කරති. මේ වීඩියෝ නරඹන්නෝ දහසක් හෝ ලක්ෂයක් හෝ නොව මිලියන ගණනකි. ඒ අතරින් බහුතරයක් විදෙස් රටවල මිනිසුන් ය. ඒවා නරඹන, විදෙස් රටවල සංචාරයට කැමති මිනිසුන් බොහෝ ය. මේ වීඩියෝ තුළින් ඔවුන්ගේ ඊළඟ සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත් කරගන්නට පෙලඹෙන අය බොහෝ දෙනෙක් වන්නට පුළුවන. සංචාරකයන් මගින් විදේශ විනිමය උපයා ගන්නට සිහින මවන අප රටේ සංචාරක අමාත්‍යංශයට හෝ මෙවැනි ආකර්ෂණීය වීඩියෝ වැඩසටහන් නිර්මාණය කරන්නට වුවමනාවක් තිබේ ද යන්න සැක සහිත ය. නමුත් අප කතා කරන්නට සැරසෙන්නේ අප රටේ අබලන් සංචාරක අමාත්‍යංශ හෝ ඒවායේ සිටින අබලන් බලධාරීන් පිළිබඳ ව හෝ නොවේ. සිය සාක්කුවෙන් මුදල් වැය කරමින්, මිනිසුන්ට නොමිලයේ මුදල් බෙදමින්, අප රට පිළිබඳ අපූර්වත්වයෙන් පිරි වීඩියෝ සටහන් නිර්මාණය කරමින් අප රටේ සංචාරක කර්මාන්තයට මහඟු මෙහෙයක් ඉටු කරන විදේශිකයන් කිහිප දෙනෙකු පිළිබඳ ව ය.

අපට මුලින් ම හමුවන්නේ ඩේවිඩි අකුන්ඩ්සාඩා ය. පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ උපත ලැබ ඉගෙනුම් කටයුතු සඳහා යුරෝපයට සංක්‍රමණය වූ ඔහුගේ සංචාරක ආශාව ඉස්මතු වන්නට වූයේ යුරෝපයේ සිටින විට බව ඔහු පවසයි. ඔහු ඉතා ඉහළ වැටුපක් ලබන ඖෂධ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවට ආයුබෝවන් කියා ඔහු වඩාත් ම ආදරය කරන සංචාරයට පිවිසෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු පවසන්නේ උපන් තැනම ජීවත් වී උපන් තැනම මිය යාමේ කැමැත්තක් ඔහුට නැති බව ය. කෙටි ජීවිත කාලය තුළ මේ අපූර්ව වූ ලෝකය හැකි තාක් දැක බලා ගැනීම ඔහුගේ අපේක්ෂාව බව ඔහු පවසයි. සංචාරය කරමින් සිය අත්දැකීම් වීඩියෝ සටහන් ලෙස ලෝකයා හමුවේ තබන්නේ අන් අය තුළ ද ඒ කැමැත්ත වගා කිරීමේ අරමුණිනි. ඔහුගේ යූටියුබ් නාලිකාව ඇත්තේ ඔහුගේ නමින් ම වන අතර මේ සටහන් ලියන මොහොත වන විට ඔහුගේ අනුගාමිකයන් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා සිටියි. සිය සංචාරය ඔස්සේ මනුෂ්‍යත්වය බෙදා හදා ගන්නා බව හැඟවෙන Human side of travels යන්න සිය යූටියුබ් නාලිකාවේ ප්‍රදර්ශනය කොට තිබීම ද විශේෂත්වයකි. රැකියාවක නිරත නොවන ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ යූටියුබ් ඉපයීම් පමණි. ඊට අමතරව ඔහුට මූල්‍ය අනුග්‍රහය සපයන්නෝ ද සිටිති. ඔහුගේ නාලිකාවේ සමස්ත නැරඹුම් වාර සංඛ්‍යාව කෝටි 5 ඉක්මවා ඇති අතර සමාජ මාධ්‍යවලින් ලැබෙන ආදායම අනුමාන ලෙස ගණනය කළ හැකි වෙබ් අඩවියක් වන ‘සෝෂල් බ්ලේඩ්’ (https://socialblade.com) පෙන්වන්නේ ඔහුගේ අවම මාසික ආදායම් ඇමරිකානු ඩොලර් 983 හෙවත් රුපියල් ලක්ෂ තුන ඉක්මවන බවය. උපරිම ආදායම ඇමරිකානු ඩොලර් 15,700 ක් හෙවත් රු. මිලියන 4.8 ක් විය හැකි බව ය. කෙසේ නමුත් මේ අතර මැද ආදායමක් ඔහුට ලැබෙන බව පැහැදිලි ය. ඔහු සියලු වීඩියෝ නිර්මාණය කරන්නේ තනිවමය. සාමාන්‍ය සංචාරකයකු ගමන් නො කරන ගමනාන්ත කරා ගොස් එම ස්ථාන, ඒවායේ සිටින මිනිසුන් සමග කතාබහ කර ලෝකයට අපූර්ව ආකර්ෂණීය ආකාරයකින් ඉදිරිපත් කරයි. ඒ ගමනාන්ත කරා ඔහු යන්නේ හිස් අතින් නොවේ. ඔවුන්ට තෑගි බෝග ද රැගෙන ය. ඔහු කිසිදු විටෙක ඍණාත්මක අත්දැකීම් සිය වීඩියෝ සටහන්වලට ඇතුළත් නො කරන්නටත් වග බලා ගනී.

අපට ඊළඟට හමුවන්නේ ‘බැක් ටු ලයිෆ්’ (Back 2 Life) යූටියුබ් නාලිකාව නිර්මාණය කර ඇති නිකොලායි ටිමොෂ්චුක් ය. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනිසි ප්‍රාන්තයේ සිට පැමිණ ලොව පුරා ගමන් කරයි. ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ද ඒ සංචාරයන්ගේ එක් ගමනාන්තයක් ලෙසිනි. ඔහු සංචාරකයකු පමණක් නොව කතුවරයෙක් ද වෙයි. ඇමසන් වෙබ් අඩවියේ ඔහු පිළිබඳ ඒ සම්බන්ධ තොරතුරු සොයා ගත හැකිය. ඔහුගේ එකම ආශාව වී ඇත්තේ මිනිසුන් සොයා ගොස් ඔවුනට විශ්වාස කළ නො හැකි තරමේ මුදල් සම්භාරයක් පිරිනැමීම ය. ඔහු මෙය සිදු කරන්නේ අප රට තුළ පමණක් නොවේ. ලක්ෂ හතරක් ඉක්මවූ අනුගාමිකයන් සිටින ඔහුගේ යූටියුබ් නාලිකාවේ සමස්ත නැරඹුම් වාර ගණන මිලියන 71 කි. ‘සෝෂල් බ්ලේඩ්’ වෙබ් අඩවියට අනුව ඔහුගේ අවම මාසික ආදායම ඇමරිකානු ඩොලර් 1,300 ක් හෙවත් රු. ලක්ෂ හතරකට ආසන්න වන අතර උපරිම මාසික ආදායම ඇමරිකානු ඩොලර් 20,500 ක් හෙවත් රු. මිලියන 6 කි. ඔහුට ද මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වන්නන් ද සිටින අතර ශ්‍රී ලංකාව ඇතුළු ඔහු ගමන් කරන සෑම රටක්, සංචාරක ගමනාන්තයන් පිළිබඳ ආකර්ෂණීය වීඩියෝ සටහන් තබමින්, ඒවා නරඹන, සංචාරය කරන්නට කැමති මිනිසුන්ට එකී ස්ථාන කරා පැමිණෙන්නැයි ඇරයුම් කරයි.

‘ට්‍රැවල් විත් ක්‍රිස්’ යූටියුබ් නාලිකාව නිර්මාණය කොට ඇති ක්‍රිස් ඇමරිකානු ජාතිකයෙකි. ඔහු ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා ද්විත්වයෙන්ම සංචාරක වීඩියෝ සටහන් ඉදිරිපත් කරයි. යූටියුබ් නාලිකාවට අමතරව ලෝකයේ ප්‍රකට සංචාරක සටහන් වෙබ් අඩවිවලට සිය අත්දැකීම් තුළින් අපූර්ව වූ සටහන් ඉදිරිපත් කිරීම ද ඔහුගේ විශේෂත්වයකි. ඔහු ද සංචාරයන් අතරතුර මිනිසුන් හමු වී ඔවුන් කිසිසේත් අපේක්ෂා නො කරන තරම් මුදල් ඔවුන් අතට ලබා දීම ක්‍රිස් ගේ ද ආශාව වී තිබේ. ඔහුගේ යූටියුබ් නාලිකාවේ අවම මාසික ආදායම ඇමරිකානු ඩොලර් 945 ක් හෙවත් රු. ලක්ෂ තුනකට ආසන්න අතර උපරිම මාසික ආදායම ඇමරිකානු ඩොලර් 15,100 ක් හෙවත් රු. මිලියන 5 කට ආසන්නය.

මෙහි සටහන් කළේ මෙවැනි මුදලින් මෙන්ම අත්දැකීමෙන් ද ත්‍යාගශීලී අපූරු විදේශීය සංචාරකයන් තිදෙනෙක් පිළිබඳ පමණි. එවැන්නෝ තවත් බොහෝ ය. ඔවුහු අපූර්ව වීඩියෝ සටහන් නිර්මාණය කරමින් සංචාරයට කැමති මිනිසුන් තුළ අප රට පිළිබඳ ආදරණීය හැඟීමක් ඇති කරවයි. මේවා, මෙයට ද වඩා මහා පරිමාණයෙන් කළ යුත්තේ අප රටේ සංචාරක අමාත්‍යංශය මගින් වුවත්, ඔවුන් කරන්නේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් පිළිබඳ සිහින මවමින් නිකං බලාගෙන සිටීම පමණි. අප රට පිළිබඳ සැබවින්ම ආදරණීය හැඟීමක් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ බලධාරීන්ට ඇත්නම් සංචාරකයන් අප රටට පැමිණෙන ප්‍රමාණය වර්ධනය කරවා ගැනීම සඳහා සාධනීය පියවර ගත හැකිය. නමුත් කිසිදා එවැන්නක් සිදු වන්නේ නැත. ඔවුන් කරන්නේ ද සිය ජංගම දුරකතනය අතට ගෙන මෙවැනි සංචාරකයන්ගේ වීඩියෝ සටහන් නරඹමින් විනෝද වීම පමණක් විය හැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර