රටේ පොහොර ප්‍රශ්නයත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් කර ගත් වගයි

ඉදිරි මාස් කන්නයේ ඇරඹුමට දින කිහිපයක් තිබිය දීත් පොහොර ගැටළුවට විසදුම් සෙවීමට තවමත් රජය අපොහොසත් වී ඇත. පොහොර ගැටළුව මේ වන විට රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් තරම දුරදිග ගොස් තිබේ. රජය මෙම වසරේ අප්‍රේල් මාසයේදී ගත් තීන්දුවක් ප්‍රකාරව රසායනික පොහොර භාවිතයෙන් ඉවත් විය. රජයේ එම තීරණය නිසා පොහොර ආනයනය තහනම් විය. රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කරන බවට පුරසාරම් දොඩා කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කරන බව ද කීය එහෙත්,එය උපන් ගෙයිම මිය ගිය සිහිනයක් පමණක් විය.

රටට අවශ්‍ය තරම් කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීමට අපොහොසත් වූ රජය චිනයෙන් පොහොර ගෙන්වීමට තීන්දු කළේය. රජය මෙම තීන්දුව ගන්නා විටත් මෙරට ව්‍යාපාරිකයෙකු චීන සමාගමකින් පොහොර ඇනවුම් කර තිබුණි.

මෙරට තිබෙන ශක්තිමත්ම පනතක් වන ශාක නිරෝධයන පනත ප්‍රකාරව රට තුළට ගෙනෙන සෑම පොහොරක්ම පරික්ෂාවට ලක් කරනු ලබයි. ඒ අනුව චීන කාබනික පොහොර ද සාම්පල ද ශාක නිරෝධයන සේවයේ පරික්ෂණාගාරවලදී පරික්ෂාවට ලක්විය. නමුත් එම සාම්පලවල අහිතකර ක්ෂුද්‍ රජීවියෙකු සිටීම හේතුවෙන් එම පොහොර රටට ඇතුළත් කිරීමට නොහැකි බවට නිර්දේශ විය. දෙවන සාම්පලයේද එම ක්ෂුද්‍ර ජිවියා සිටිම නිසා එම පොහොර ප්‍රතික්ෂේප විය.

ගැටුම ඇති වන්නේ එතැන් පටන්ය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ අදාළ සමාගමෙන් පොහොර ගෙන්වීම නවතා දමන බවය. ශ්‍රී ලංකා රජයේ තීන්දුව එය වුවත්”පුදන කොටම කාපි යකා”කීවාක් මෙන් ඒ වන විට පොහොර තොගය රැගත් නැව චීනයෙන් පිටත්වී හමාර බව වාර්තා වූවේ ඒ අතරවාරයේය.

කෙසේ නමුත් චින සමාගමේ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මෙරට චීන තානාපති සැර ලිපියක් නිකුත් කර තිබුනි. එහි අවසානයේ දක්වා තිබුණේ පොහොර ප්‍රතික්ෂේපවීම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදුවීමට ද හේතුවක් විය හැකි බවය.බැලූ බැල්මට වුව මෙය පෙනෙන්නේ”රාජ්‍ය තාන්ත්‍රික චණ්ඩි කමක්” ලෙසටය. චින රජයේ තර්ජනය අතරවාරයේ ඉන්දීය විදේශ ලේකම්වරයා ද මෙරටට පැමිණ තිබුණි.

පොහොර ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනුණේ මෙම මස 10 ත් 15 ත් අතර කාලවකවානුවේ නැගෙනහිර පළාතේ හා ඒ ආසන්න ප්‍රදේශවල වී ගොවීන් මහ කන්නය වෙනුවෙන් අස්වැද්දීමට පටන් ගන්නා බැවිනි. මඩකලපුව, අම්පාර, දෙහිඅත්තකණ්ඩිය යනාදී ප්‍රදේශවල ගොවීන් මහ කන්නය වෙනුවෙන් ලැහැස්තිවුවද ඔවුනට කාබනික පොහොර නැති නිසා වගාවන් ආරම්භ කරන්නේ කෙසේද? යන්න ගැන ඔවුහු මේ වන විට දහ අතේ කල්පනා කරමින් සිටිති.

ඊට පිළිතුරක් ලෙස කෘෂිකර්ම ඇමතිවරයා කීවේ අවශ්‍ය තරම් පොහොර ඉන්දියාවෙන් හෝ ගෙන්වා දෙන බවය. ලංකාවේ පසට ගැලපෙන කාබනික පොහොර ඉන්දියාවේ නිෂ්පාදනය වෙයි.එඔවුන් මෙරටට පොහොර ලබාදීමට මැලිකමක් දැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය චිනය දෙසට හැරිණි.

නමුත් චින පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටීමෙන් එය ප්‍රතික්ෂේප විය. චීන රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ ද සාම්පල දෙකම ප්‍රතික්ෂේප වීම මත එය පිළිගත නොහැකි කාරණයකි. මෙහි වැදගත්ම කාරණය වන්නේ චීන කාබනික පොහොර නවතා දමා ඉන්දියානු පොහොර දැන් ගෙන්වීමට හැකිවන්නේ කෙසේද? කියන කාරණයය. ඉන්දීය විදේශ ලේකම්ගේ ගමන ආසන්නම සාධකය විය හැකිය.

මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භවීමට ප්‍රථම ගුවන් මගින් හෝ කාබනික පොහොර ගෙන්වා දෙන බවට ඇමතිවරයා පාර්ලිමේන්තුවේදි කීවේ කට මැත දෙඩීමක් ලෙස විය නොහැකි ය. ඔහු එය කියන්නට ඇත්තේ ඉන්දියාවේ කිනම් හෝ සහතිකයක් මත විය යුතු ය. කාබනික පොහොර මෙරටට ලබාදීමට මුලින් මැලිකමක් දැක්වූ ඉන්දියාව දැන ඊට හේතුවක් නොමැතිව එකඟ වූවා විය නොහැකි ය.එහි කිනම් හෝ ‘ඩීල් එකක්”තිබිය යුතුමය.

අද වන විට පොහොර ගැටළුව රජතාන්ත්‍රික වී ඇත්තේ එබැවිනි. චීනය මේ කාරණයේදී සිටින්නේ කෝපයකිනි. මන්ද ශ්‍රී ලංකාව නැමැති කලාපයේ සන්ස්ථාධිනයක පිහිටි රටක පාලනය ඩැහැගැනීමට මාන බලන රටවල් දෙකකින් එක් රටක් වෙත ශ්‍රී ලංකාව වැඩි නැඹුරුවක් දැක්වීම අනෙක් රට කෝප ගන්වන්නක් වන බැවිනි.

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හමුවේ දේශීය අර්බුදය මතු වන්නේ කාබනික පොහොර නිසි වේලාවට ගෙන්වා ගැනීමට නොහැකිවුවහොත්ය.මෙම කරුණ මුල් කොට පොලොන්නරුව කන්න රැස්වීමේ දී තම රාජකාරී බලතල ගැන කියන්නට ගිය පොලොන්නරුව දිසාපති වරයාටත් ගොවීන්ගෙන් බැවුම් අසා නිහඬ වන්නට සිදු විය.පොහොර නැතුව වතුර මොකටදැයි අසමින් ගොවීහු එම කන්න රැස්වීමෙන් නැඟිට ගියහ.රජයේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා සිවිල් පරිපාලනය බිඳ වැටීම කෙසේවත් හොඳ දෙයක් නොවේ. එසේවුවහොත් මහ කන්නයේ වී ගොවිතැන් කටයුතු ඇන හිටිනු ඇත. එවිට ලබන වසරේ වී නිෂ්පාදනය පහත වැටී සහල් මිල අහස උසට ඉහළ යනවාට සැකයක් නැත.එම තත්වය යටතේ අප රටේ වී ගොවිතැන මුළුමනින්ම වල පල්ලට යාමේ පහසු හැකියාවක් පවතියි.
ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර