රොක් ඇන්ඩ් රෝල් රැජින ටීනා ටර්නර් මිය යයි; ඇය බුදු දහමින් ආභාෂය ලැබූ ගායිකාවක්

බටහිර සංගීත ලෝකයේ පුරාවෘත්තයක් වූ, රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස හැඳින්වුණු සුපිරි සංගීත ශිල්පිනී ටීනා ටර්නර් ජීවිතයෙන් සමු ගත්තාය. 83 වැනි වියෙහි පසු වූ ඇයගේ අභාවය සිදු වූයේ පසුගිය 24 වැනි දින යි. සංගීත ලෝකයේ රැජිනක බවට පත් වුව ද ඇයගේ ජීවිතය බොහෝ හැලහැප්පීම්වලින් මෙන්ම අතිශය වේදනාකාරී අත්දැකීම්වලින් ද ගහණ වූවක් විය. වරක් ඇය සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණේ තමා සිය දිවි නසා ගැනීමට පවා උත්සාහ කළ බවයි. ජීවිතය නැවත ගොඩ නගා ගැනීමට තමාට උදව් වූයේ බුදු දහම බව ද ඇය එහි දී පවසා තිබුණාය.

මෑත කාලයේ ඇය බොහෝ සෞඛ්‍ය ගැටලුවලින් ද පීඩා වින්දාය. පිළිකා රෝගයට ද ගොදුරුව සිටි ටීනා වකුගඩු ආබාධයකින් ද පෙළුණු බව සඳහන් වේ.

1939 වසරේ උපන් ඇයගේ මුල් නම වූයේ ඇනා මේ බුලොක් (Anna Mae Bullock) යන්න යි. ටීනා ටර්නර් යන නම ඇයට දී තිබුණේ ඇයගේ පළමු සැමියා වූ අයික් ටර්නර් ය. ටීනා සහ අයික් අතර විවාහය සිදු වූයේ 1962 වසරේ යි. ඇය මුලින්ම ගායන ලෝකයට පිවිසියේ අයික් නායකත්වය දුන් සංගීත කණ්ඩායමක සාමාජිකාවක ලෙසිනි. එම සංගීත කණ්ඩායම හැඳින්වුණේ Kings of Rhythm යන නමිනි.

කෙසේ නමුත් මේ දෙදෙනා අතර විවාහය වැඩි කලක් පැවතුණේ නැත. අයික් ටීනාගේ සංගීත ජීවිතයට උදව් කළ බව සැබෑවක් වුවත් ඔහු සමග ගත කළ ජීවිතය ඉතා කටුක වූ බවත්, ඔහු දැඩි ආධිපත්‍යධාරී, ඉතා හිංසාකාරී පුද්ගලයකු වූ බවත් ඇය පවසා තිබිණි. එම කාලයේ ඔහු ඇයට බොහෝ ශාරීරික හිංසාවන් පවා කර තිබූ බව සඳහන් වේ. පහර දීම්, පිලිස්සීම් වැනි ක්‍රියාවන් ද ඒ අතර වූ බැව් පැවසේ. මෙම තත්ත්වය තුළ ඇය 1976 වසරේ නිවසින් පලාගොස් තිබුණේ ඉතා සුළු මුදලක් ද මිට මොළවාගෙන ය. අනතුරුව ටීනා ටික කලක් මිතුරු මිතුරියන්ගේ නිවෙස්වල සැඟවී ගත කළාය. අවසානයේ 1978 වසරේ ඇය අයික්ගෙන් දික්කසාද විය.

දික්කසාදයෙන් පසු ඇයගේ ජීවිතය කඩා වැටුණේ නැත. ඇය සංගීත ලෝකය තුළ පෙරටත් වඩා ජව සම්පන්න සහ සාර්ථක ගමනක් යාමට පටන් ගත්තාය. මේ කාලය තුළ සිය ජීවිතය නැවත ගොඩ නගා ගන්නට තමාට උදව් වූයේ බුදු දහම බව ටීනා සඳහන් කළාය.

ජීවිතයේ බොහෝ කරදරවලට මුහුණ දෙද්දී තමා විශාදය (Depression) නැමැති මානසික ආබාධයට ගොදුරු වූ බව ද ඇය අනාවරණය කර තිබිණි. ‘දැඩි ඉච්ඡාභංගත්වයට පත් වී සිටිය දී නිදි පෙති වැඩිපුර අරං සිය දිවි නසා ගන්න මම උත්සාහ කළා’. නමුත් වාසනාවට මෙන් ඇය රෝහල්ගත කිරීමට කිසිවකු පියවර ගෙන තිබූ අතර පසුව ඇය සම්පූර්ණ සුවය ලැබුවාය. ‘මේ කාලයේ බොහෝ දෙනෙක් මට බුදු දහම ගැන කිව්වා. බුදු දහමේ එන කරුණු කාරණා ඉගෙන ගන්නැයි ඔවුන් මට අවවාද කළා. මම ඒ අනුව බුදු දහම ගැන කරුණු සොයන්න පටන් ගත්තා. ඒ ගැන වැඩි වැඩියෙන් තේරුම් ගනිත්ම වඩ වඩාත් සහනයක් දැනෙන්න වුණා. මට එම දර්ශණය වඩාත් හොඳින් දැනෙන්න පටන් ගත්තා.

‘ඇත්ත වශයෙන්ම කියතොත් මගේ ජීවිතය බේරුණේ බුදු දහම නිසා බව කිව හැකියි. මේ වනතුරුත් මම ඒ දහම පිලිපදිනවා’ ටීනා මෑතක දී පවසා තිබුණාය. ඇයගේ නිවසේ බුදු මැදුරක් පවා තිබූ බැව් සඳහන් වේ. මිය යනතෙක්ම ඇය බෞද්ධ පිලිවෙත් අනුගමනය කළ කාන්තාවක වූවාය.

සංගීත ලෝකයේ ඉහළම සම්මානයක් ලෙස සැලකෙන ග්‍රැමී සම්මානයෙන් ඇය අට වරක් පිදුම් ලබා තිබේ. ග්‍රැමී සම්මාන යනු සිනමාවේ ඔස්කාර් සම්මාන මට්ටමේ ලා සැලකෙන්නකි. ඊට අමතරව ද ඇය තවත් බොහෝ සංගීත සම්මාන හිමි කරගෙන ඇත. ටීනා ගායනා කළ The Best, What’s Love Got to Do With It, Let’s Stay Together, Steam Windows, Private Dancer වැනි ගීත රසික රසිකාවියන් අතර අතිශයින් ජනප්‍රිය විය. Golden Eye නැමැති ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයට ඇය ගැයූ තේමා ගීතය ද විශාල ආකර්ශණයක් දිනාගත්තක් විය. ප්‍රසංග වේදිකාව ජීවයෙන් පුරවන්නට ඇයගේ කටහඬට මෙන්ම නර්තනයට ද තිබූ ශක්තිය විස්මයජනක ය. 1980, 1990 දශකවල ටීනා බටහිර සංගීත ලෝකයේ ඉහළම තලයෙහි වැජඹුණු ගායිකාවකි. ඇයගේ සංගීත ඇල්බම ලොව වැඩිම අලෙවියක් වාර්තා කළ ඇල්බම අතර විය. වර්තමානයේ අතිශයින් ජනප්‍රිය බටහිර ගායිකාවන් වන රියානා, බියොන්සේ, ජැනට් ජැක්සන් වැනි අය ටීනාගෙන් විශාල අභාෂයක් ලැබූවන් ලෙස පිලි ගැනේ.

ටීනා චිත්‍රපටයක ද රඟපා තිබේ. ඒ 1985 වසරේ තිරගත වූ Mad Max Beyond Thunderdome නැමැති සිනමාපටයේ යි.

ටීනාගේ පළමු විවාහය අසාර්ථක වුවත් ඇයගේ දෙවැනි විවාහය තුළ ඇය සතුටින් කල් ගෙව්වාය. එවර ඇයගේ සැමියා වූයේ අර්වින් බාක් ය. ඔහු සංගීත ක්‍ෂේත්‍රයේ විධායක නිලධාරියෙකි. මේ දෙදෙනාගේ සම්බන්ධය ආරම්භ වූයේ 1980 දශකයේ වුවත් ඔවුන් විවාහ වූයේ 2013 වසරේ යි. ටීනා සහ අර්වින් ජීවත් වූයේ ස්විට්සර්ලන්තයේ ය. ටීනා ස්විස් පුරවැසිභාවය ලබා ගත්තාය. ඇය වකුගඩු ආබාධයකට ගොදුරු වීමෙන් පසු අර්වින් ඔහුගේ වකුගඩුවක් ඇයට පරිත්‍යාග කළේය. ඒ 2017 වසරේ යි.

පසුගිය කාලයේ ඇයගේ දරුවන් දෙදෙනකු මිය යාම ද ටීනා මුහුණ දුන් දුක්මුසු අත්දැකීමකි. ඇයගේ වැඩිමල් දරුවා වූ ක්‍රේග් 2018 වසරේ මිය ගිය අතර තවත් දරුවකු වූ රොනී 2022 වසරේ මිය ගියේය. ක්‍රේග්ගේ පියා වූයේ ටීනාගේ කලින් පෙම්වතෙකි. රොනී ඇය සහ අයික් අතර විවාහයෙන් ලැබුණු දරුවකු විය.

බොහෝ සිදුවීම්වලින් ගහණ ටීනාගේ ජීවිත කතාව ඇසුරෙන් සිනමාපටයක් ද නිර්මාණය විය. 1993 වසරේ තිරගත වූ එහි නම What’s Love Got to Do With It ය. එහි ටීනාගේ චරිතය නිරූපනය කළ ඇන්ජෙලා බැසෙට් ඔස්කාර් සම්මානයක් සඳහා ද නිර්දේශ වූවාය. 2021 වසරේ ටීනා පිලිබඳව වාර්තා වැඩසටහනක් ද නිර්මාණය වූ අතර එය නිශ්පාදනය කළේ සුප්‍රකට HBO සමාගම යි.

2018 වසරේ එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී ඇය මෙසේ පැවසුවාය: ‘මගේ ජීවිතය ඉතා කටුක එකක් කියලා බොහෝ දෙනෙක් හිතනවා. නමුත් මම හිතන්නේ එය ඉතා අපූරු ගමනක් බවයි. වයසට යද්දී අප තේරුම් ගන්නා දෙයක් තිබෙනවා. එනම්, වඩාත් වැදගත් වන්නේ සිදු වූ දේවල් නොව ඒවාට ඔබ මුහුණ දුන් ආකාරය බවයි’.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර