අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් යොමු කරන ලද එන්තරවාසියකට පිළිතුරු ලබා දෙමින් ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (හිරු ටීවී) ආයතනය අදාළ අමාත්‍යවරයාට හානි වීමට තරම් “කීර්තිනාමයක්” නොමැති බව අධිකරණය හමුවේ තහවුරු කිරීමට තමන් සූදානම් බව අවධාරණය කර ඇත. පොදු දේපළවලට හානි කිරීම සහ ප්රචණ්ඩත්වය ඇවිස්සීම වැනි ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බව ඔහු විසින්ම ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති බැවින් මෙම තීරණයට එළඹි බව එම ආයතනය පවසයි.සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගම මාර්ගයෙන් යොමු කරන ලද මෙම පිළිතුරු ලිපිය මගින් හිරු මාධ්‍ය ජාලය වැඩිදුරටත් කරුණු පැහැදිලි කර තිබේ.පසුගිය අප්‍රේල් 16 වන දින විකාශය වූ හිරු ටීවී පුවතක අමාත්‍යවරයාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට අදාළ සංඛ්‍යාලේඛනවල ගණනය කිරීමේ දෝෂයක් සිදුව ඇති බව එම ආයතනය පිළිගනී. එහෙත් එම දෝෂය හඳුනාගත් වහාම, එනම් අප්‍රේල් 18 වන දින, හිරු TV, හිරු FM, ෂා FM ඇතුළු සියලුම මාධ්‍ය ජාල ඔස්සේ ස්වේච්ඡාවෙන්ම සමාව අයදිමින් එම වැරදි නිවැරදි කිරීමට පියවර ගත් බව නීතිඥවරු පෙන්වා දෙති.මෙම වාර්තාකරණය කිසිදු ද්වේෂසහගත චේතනාවකින් හෝ පුද්ගලයෙකුට අපහාස කිරීමේ අදහසින් සිදු නොකළ බවත්, එබැවින් එන්තරවාසිය මගින් ඉල්ලා ඇති වන්දි මුදල් ගෙවීමට තම සේවාදායකයා බැඳී නොමැති බවත් එම ලිපියේ සඳහන් වේ.ලාල් කාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශය 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට පටහැනි බවත්, එහි බරපතළ දෝෂ පවතින බැවින් එය නීත්‍යානුකූල නොවන බවත් නීතිඥ සමාගම චෝදනා කරයි. අනිවාර්ය ව්‍යවස්ථාපිත නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරියේදී කටයුතු කරන බවද එහි දැක්වේ.තම ආයතනයේ විකාශන අයිතියට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මාධ්‍ය නිදහස සහ බලපත්‍ර කොන්දේසිවලට පටහැනිව ක්‍රියා කිරීමට දරන ඕනෑම බලපෑමකට එරෙහිව දැඩිව පෙනී සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.