ලොව ඉතිරිව සිටින එකම රැජිනත් සිහසුන අත් හරියි

ලෝකයේ ඉතිරිව සිටින එකම රැජින ද තව දින කිහිපයකින් සිය කිරුළ අත්හැරීමට සූදානම් වෙයි. ඒ ඩෙන්මාර්කයේ රැජින වන දෙවැනි මාග්‍රෙතා රැජින යි. ඇය මේ වනවිට ලොව සිටින එකම රැජින වන අතර යුරෝපයේ රටවල කිරුළු දරණ රාජකීයයන් අතරින් වැඩිම කාලයක් තිස්සේ කිරුළ හොබවන රාජකීයයා ද වෙයි. මාග්‍රෙතා රැජින වසර 52 ක කාලයක් ඩෙන්මාර්කයේ සිහසුන හොබවමින් සිටියි. ඇය සිහසුනට පත් වූයේ 1972 වසරේ යි.

මේ වනවිට 82 වැනි වියෙහි පසුවන රැජින කිරුළ අත්හැරීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍ය හේතූන් නිසා බව පෙනේ. මෙයට මාස කිහිපයකට පෙර ඇය සිය තුනටියේ සැත්කමකට ද මුහුණ දී තිබුණාය. ඉතා ප්‍රියමනාප, විනෝදශීලී කෙනෙකු ලෙස සැලකෙන මාග්‍රෙතා ඩෙන්මාර්ක වැසියන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි. අධික ලෙස දුම්පානය කරන්නියක ලෙස ද ඇය ප්‍රසිද්ධියක් උසුළයි. මේ නිසා ඇතැමුන් ඇය හඳුන්වන්නේ අළු බඳුනේ රැජින (Ashtray Queen) යන නමිනි. ඇය ජංගම දුරකතන හෝ අන්තර්ජාලය හෝ පාවිච්චි නොකරන්නියක බව ද සඳහන් වේ. ඒවා නැතිවාට තමුන් ඉතා සතුටින් ජීවත් වන බවත්, රජකම දැරීමට එයින් කිසිදු බාධාවක් වී නැති බවත් වරක් ඇය පවසා තිබුණාය.

“සැත්කමෙන් පස්සේ මම අනාගතය ගැන සිතා බලන්න පටන් ගත්තා” කිරුළ අත්හරින බව නිවේදනය කළ අවස්ථාවේ ඇය ප්‍රකාශ කළාය. “වගකීම ඊළඟ පරම්පරාවට බාර දීමට කාලය එළැඹ ඇත් ද යන්න ගැන මා කල්පනා කළා. ඒ වෙලාවේ මා තීරණය කළා මේක තමයි වෙලාව කියලා” ඇය තවදුරටත් පවසා තිබිණි. පසුගිය කාලය පුරා තමා වෙත දැක් වූ සහයෝගය ගැන ඩෙන්මාර්ක ජනතාවට ස්තුතිය පිරිනැමීමට ද ඇය අමතක කළේ නැත.

මාග්‍රෙතා රැජින සහ බි්‍රතාන්‍යයේ එළිසබෙත් රැජින අතර ඥාති සම්බන්ධයක් ද තිබේ. එළිසබෙත් රැජින ඇයගේ තුන්වැනි ඥාති සොහොයුරිය බව සඳහන් ය. ඔවුන් දෙදෙනාම 1837-1901 අතර කාලයේ බි්‍රතාන්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා රැජිනගෙන් පැවත එන පවුල්වලට සම්බන්ධ ය. මාග්‍රෙතා රැජින සහ එළිසබෙත් රැජින ඉතා හොඳ මිතුරියන් වූ බව ද ප්‍රසිද්ධ කාරණයකි. වරක් මාග්‍රෙතා රැජින පවසා තිබුණේ තමා එළිසබෙත් රැජිනගෙන් විශාල ආභාසයක් ලැබූ බව යි. “ඇය වගේම මාත් මගේ ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කළ යුතු බව මා තේරුම් ගත්තා. ඒ අතින් ගත් විට ඇය මගේ ජීවිතයට ඉතා වැදගත් වූ චරිතයක්” මාග්‍රෙතා රැජින ප්‍රකාශ කර තිබිණි. 2022 වසරේ එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ ඇයගේ අවමගුල් උත්සවයට ද මාග්‍රෙතා රැජින සහභාගි වූවාය.

මාග්‍රෙතා රැජින ඩෙන්මාර්කයේ සිහසුනට පත් වූයේ 1972 ජනවාරි 14 වැනිදා යි. ඒ ඇයගේ පියා වූ නවවැනි ෆ්‍රෙඩෙරික් රජු ගේ අභාවයෙන් පසුව ය. 1972 වසරේ නව අවුරුදු පණිවුඩය ප්‍රකාශ කිරීමෙන් සුළු වේලාවකට පසු ෆ්‍රෙඩෙරික් රජු අසනීප වූ අතර එයින් දින 14 කට පසු ඔහු ගේ මරණය සිදු විය. එයින් පසු මාග්‍රෙතා සිහසුනට පත් වෙද්දී ඇය සිටියේ 31 වැනි වියෙහි ය.

ඒ කාලයේ ඩෙන්මාර්කයේ පැවැති රාජකීය සම්ප්‍රදායට අනුව කාන්තාවකට සිහසුන දැරීමට හැකියාවක් තිබුණේ නැත. නමුත් කාන්තාවන්ට එම අවස්ථාව උදා කරමින් එරට නීතිය වෙනස් කර කෙරුණේ නව වැනි ෆ්‍රෙඩෙරික් රජුට පුතුන් නොසිටි බැවිනි. ඔහුට දරුවන් තිදෙනෙකු සිටියත් ඒ තිදෙනාම දියණියෝ වූහ.

මාග්‍රෙතා රැජින සිහසුනෙන් ඉවත් වන්නේ ජනවාරි 14 වැනි දින යි. එයින් පසු ඩෙන්මාර්කයේ රජකමට පත් වන්නේ ඇයගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමලා වන ෆ්‍රෙඩෙරික් කුමරු ය. ඔහු ගේ වයස අවුරුදු 55 කි. පසුගිය කාලයේ ඔහු විශාල ආන්දෝලනයකට ද මැදි වී සිටියේය. ඒ ඔහු සහ මෙක්සිකානු කාන්තාවක වන ජිනොවේවා කැසනෝවා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට පැතිරුණු ආරංචි නිසා ය. ඔවුන් දෙදෙනා විනෝද වෙමින් සිටින ආකාරයක් දැක්වෙන ඡායාරූප කිහිපයක් ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි. ෆ්‍රෙඩෙරික් කුමරු විවාහකයකු වන අතර දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. ඔහු විවාහ වී සිටින්නේ මේරි කුමරිය සමග යි.

කෙසේ හෝ වේවා, ෆ්‍රෙඩෙරික් සහ මේරි එතරම් ආටෝපකාරී ජීවිත ගත කරන්නන් නොවන බවක් ද සඳහන් වන අතර ඔවුන් සිය දරුවන් යවන්නේ රජයේ පාසල්වලට බවක් ද පැවසේ.

බි්‍රතාන්‍යයේ මෙන් ඩෙන්මාර්කයේ රජ කෙනෙකු පත් වෙද්දී අභිෂේක මංග්‍යයක් පැවැත්වෙන්නේ නැත. එහි දී සිදුවන්නේ රජ මාලිගය ඒ පිලිබඳ නිවේදනයක් නිකුත් කිරීම පමණි. ඩෙන්මාර්කයේ රජු හෝ රැජින ගේ නිල මාලිගය වන්නේ එරට අගනුවර වන කොපන්හේගන් හි පිහිටි අමේලියන්බර්ග් මාලිගය යි. එය සැබැවින්ම මාලිග සතරකින් සමන්විත සංකීර්ණයකි.

මෙම මාලිග මුලින් ඉදි කර තිබුණේ ප්‍රභූන් සතර දෙනෙකු වෙනුවෙනි. නමුත් 1794 සිට එය ඩෙන්මාර්ක රජ පවුලේ වාසස්ථානය බවට පත් විය.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්