රනිල් පොදු අපේක්ෂක වුණොත් පොදුජන පෙරමුණේ සහය ඔහුටයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.අමාත්‍ය වරයා මේ බව සඳහන් කළේ මහනුවරදී අද (03) මහනුවරදී මාධ්‍ය හමුවක දී අදහස් පළ කරමිනි.එහි දී ඔහු පවසා සිටියේ ජනාධිපති වරයා ද ඒ සම්බන්ධ තම ස්ථාවරය හෙළි කළ යුතු බවකි.
“ඡන්ද 69 ලක්ෂයක ජනතා වරමින් පත් වූ නායකයා අරගලයකට මුවාවෙලා ගෙදර ඇරියා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාසට, අනුර දිසානායකට වගේම සරත් ෆොන්සේකාට පවා ජනාධිපති ධුරය භාරගන්න කියලා ආරාධනා කළා. ඒ අය පස්සට ගිය වෙලාවේ තමයි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත්තේ. දැන් රට යම් තාක් දුරට නැවතත් හිස ඔසවමින් පවතිනවා. හිස් වූ භාණ්ඩාගාරය නැවතත් සක්‍රීය වෙමින් පවතිනවා. රට මේ තත්වයට ගෙන ඒමේ ගෞරවය වත්මන් ජනපතිට හිමිවෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ එතුමාට තව ටික කාලයක් මේ ආකාරයෙන්ම කරගෙන යන්න ඉඩ දිය යුතුයි කියලයි.අද හිතාගන්න බැරි තරම් නම් ගොඩක් ජනාධිපති අපේක්ෂකයෝ පිළිබඳ කියවෙනවා. ඡන්දෙ ඉල්ලන්න ජනාධිපති වෙන්න ඒ තරම් අමාරු වෙන්නේ නෑ. නමුත් එහෙම ආපු මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ වැනි අයට මොකද වුණේ. ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් රටේ භාණ්ඩාගාරයේ තත්වය ගැනත් හිතලා තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ ඉදිරිපත් වෙන කෙනාට රට ගොඩ නඟන ස්ථීර වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන් පසු අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා. .වැට් බද්ද නිසා ජනතාව යම් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව අප සැම පිළිගත යුතුයි. නමුත් සමහර අය මේ පිළිබඳව බොරු බිල්ලෝ මවනවා. ජනතාව සත්‍යය තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. විදුලි බිල හා වෙනත් බදු නිසා අද ආයෝජකයෝ ගැටලු වලට මුහුණ පා සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු පැහැදිලි කොට ආයෝජකයන් සඳහා පනවා ඇති බදු ඉවත් කොට යම් සහන ලබා දීමට කටයුතු කළ යුතුයි. නැත්නම් නැවතත් ගැටලු උද්ගත වෙන්න පුළුවන්.නමුත් මේ අමාරු කාලය පහු කළොත් හැමදෙනාටම සහනයක් ලැබේවි” යැයි ද ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය වරයා කීය.

කාලීන පුවත්