වප් මඟුල ද ලොප් වෙයි; පොහොර හිඟය උග්‍රම අතට

මෙවර මහ කන්නය සඳහා වන කිසිම පොහොරක් මෙය ලියන අද(13) වන දා උදේ වන තුරුත් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට ලැබී නැත.

මෙම තත්වය යටතේ මෙතෙක් ගොවි ජනතාව හා සමීප සම්බන්ධයක් ගොඩ නඟා ගෙන සිටි කෘෂි නිලධාරීන්ට ද ගොවීන්ට මුහුණ දීමට නොහැකි වී තිබේ.

ගොවි-කම්කරු යන්න යුගල පදයක් වුව ද ගොවියා කම්කරුවාට වඩා අතිශයින් ඉවසිලිවන්ත ජන කොටසක් බව පවසන කෘෂි නිලධාරීහු ගොවියන් මෙසේ ප්‍රකෝප කර ගැනීම අතිශය බරපතල කරුණක් බව ද කියති.රුහුණේ මහ ගොවියෙකුගේ පුතුන් ලෙස හදුන්වන රාජපක්ෂ පාලනය යටතේ ගොවීන්ට මෙවැනි කල දසාවක් උදාවේ යැයි කිසිදු ගොවියෙකු සිතන්නට නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට තරඟ කරද්දී ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වූයේ ගොවීන්ට නොමිලේම පොහොර දෙන බවකි.

ජනාධිපතිවරයා ඉකුත් සතියේ අනුරාධපුරයේ දී ප්‍රකාශ කළේ තමන් නොමිලේ පොහොර දුන් බව ය. එසේනම් දැන් ගොවියාට පොහොර ඉල්ලා පාරට බසින්නට සිදුවූවේ ඇයි යන ප්‍රශ්නයට රජයට පිළිතුරක් නැත.

රජය රසායනික පොහොර තහනම් කර දැමුවේ ය. අනතුරුව ඔවුන් කියා සිටියේ රටේ සියලුම වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර රට තුළම නිෂ්පාදනය කරන බව ය.

රසායනික පොහොර හේතුවෙන් වකුගඩු රෝග වැනි රෝගවලින් ජනතාව පීඩාවට පත්වන බව කී ආණ්ඩුවේ මැති ඇමතිවරු කාබනික පොහොර වගාවට ගොවියා යොමු කොට ජනතාව ලෙඩ රෝගවලින් ගලවා ගන්නා බවට ප්‍රකාශ කළහ. එයින් පිනා ගිය ගොවි රජවරු ඇතුළු හුදී ජනී ජනයා කාබනික පොහොර ව්‍යාපෘතියට සහාය දුන්හ.ඔවුන් සිතා සිටියේ මෙය රජය විද්‍යාත්මක පදනමක් මත ගත් තීරණයක් බව ය.

නමුත් රජය එක්වරම කාබනික පොහොර ව්‍යාපෘතියක් ගෙනාවේ රසායනික පොහොර හේතුවෙන් වකුගඩු රෝග වැනි රෝගවලින් ජනතාව පීඩාවට පත්වන ජනතාව ඉන් මුදා ගැනීමට නොව ලංකාවේ ඩොලර් හිඟය නිසා බවත් රසායනික පොහොර ගෙන්වීමට ඩොලර් නොමැති බැවින් රජය් කාබනික පොහොර ගැන කියන්නට පටන් ගත් බවත් දැන් කවුරුත් දනිති.

මෙය හරියට සැබෑ අදරය වෙනුවෙන් තම පෙම්වතා හා ලුණුයි බතුයි කා ජීවත් වන බවට පොරොන්දු වන තරුණියකගේ සිතුවිලි හා සමාන දෙයකි.

නමුදු මෙයින් රැවටුණු හුදී ජනී ජනයා කාබනික පොහොර පසු පසු දිව ගියහ.ආණ්ඩුවට හිතවත් වෛද්‍ය වරුරජයේ පිදේනි ගොටු ඉදිරියේ කෘෂි විද්‍යාඥයන්ට ද කාබනික පොහොර භාවිතය ගැන උපදෙස් දෙන්නට තරම් මුවහත් වී සිටියහ.

අවසානයේ රසායනික පොහොර ඉල්ලා සිටින තැනට ගොවීන් ඇද වැටුණි ඒ කාබනික පොහොර යොදා අස්වැන්න නොලැබෙන්න පටන්ගත් දා පටන්ය.

කාබනික පොහොර යොදා වානිජ වගාවන් සිදු කෙරෙන මහා පරිමාන වගාබිම් පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ වත් දත්ත සහ තොරතුරු නොමැති බව හෙළි විය.ආණ්ඩුවේ කාබනික පොහොර ව්‍යාපෘතියේ “නග්න” බව කාට කාටත් වැටහුණේ එවිට ය.

ලෝකයේ කිසිදු රටක් මෙතෙක් 100% ක් කාබනික පොහොර වගාවට යොමුව නැත. භූතානය පවා කාබනික වගාවේ යෙදෙන්නේ 40% ක ප්‍රතිශතයක් පමණකි. ඒසේ තිබියදී ලංකාව 100% ක් රසායනික පොහොර මත යැපෙන්නට ගොස් ඇත්තේ කිසිදු වගවිභාගයකින් තොරව ය.

ර‌ට තුළ මේ වන විට කාබනික පොහොර හෝ රසායනික පොහොර යන දෙකෙන් එකදු පොහොර වර්ගයක් හෝ නොමැත. වී වගාව වෙනුවෙන් ගොවීන්ට භූමිය සකස් කිරීමට නොහැකිව ඇත්තේ පොහොර හිඟය නිසාය.

වී වගාවේ මුලින්ම යොදන්නේ මඩ පොහොර ය. ඔක්තෝම්බර් 15 දා සිට වගා කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින ගොවියෝ දැන් පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරති. දේව කන්නලව් පවත්වති. මහ කන්නය ආරම්භයේ දී රාජ්‍ය වප් මගුල් උත්සවය පැවැත්වීම කෘෂිකර්ම අමාත්‍යාංශය කලක පටන් කරගෙන එන සම්ප්‍රදායකි. මෙවර වප් මගුල වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සුදානම් නොමැත. කුමන හේතුවක් මත හෝ අද වන විට වප් මඟුල ද “ලොප්” වී තිබේ.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් කාබනික පොහොර ගෙන්වා බෙදා හරින බවකි. සියළු ගොවිජන සේවා මධ්‍යස්ථාන ඒ් සදහා සුදානම් බව ඔහු කියා සිටියේ ය. පසුගිය සදුදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති කෘෂි නිලධාරීන් හා ගොවිජන සේවා නිලධාරින් හමුවේ දී 12 දා සිට පොහොර බෙදා හරින බවට ප්‍රකාශ කර තිබුණි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනය කළේ 12 දා වී වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන බවය.නමුත් අද(13) උදේ පවතින තත්වය ගැන මම මේ ලිපිය ආරම්භයේ දීම සඳහන් කළෙමි.

ගොවීන් කඹුරු හාන්නට පටන් ගන්නේ ලියැදි සකස් කිරීමට පටන් ගන්නේ පොහොර ලබා ගැනීමෙන් අනතුරුව ය. මන්ද පොහොර නොමැතිව වගා කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව ඔවුන් දන්නා නිසා ය. නමුත් ගොවීන්ට තවමත් පොහොර නැත. ඒම නිසා වගා කිරීමට නොහැක.

කෘෂිකර්ම අමාත්‍යංශය කියන ආකාරයට කාබනික පොහොර බෙදා හරින්නේ නම් ඒ්වා කොහෙන් ගෙනා පොහොර ද? යන්න රටට හෙළිදරව් කළ යුතු ය. ඒ ලංකාවේ නිෂ්පාදිත පොහොර ද නැතිනම් විදේශයකින් ආනයනය කළ පොහොර ද යන්න ද රටට කිව යුතු ය.

නමුත් එවැනි ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍යාංශය තවම කියා නැත. පොහොර දෙන බව පමණක් කියති.

පොහොර ගැන නිලධාරින්ගෙන් විමසූ විට ඔවුන්ට දීමට පිළිතුරු නැත.

ඔවුන් දුර්මුඛ වී සිටිති.ඔවුන් කියනුයේ දැනට දේශපාලනඥයන්ගේ අනු රූ සහිත පඹයන් පුච්චමින් කෝපය තුනී කර ගැනීමට වෙර දරන ගොවීන් ඉන් නතර නොවන බව ය.එමෙන්ම එම කෝපය ඉදිරි කාලයේ දී තමන් වෙත එල්ල විය හැකි බව ද ඔවුහු කියති වී වගාව ඇතුළු සෑම වගාවකටම ප්‍රමිතියෙන් යුතු පොහොර අත්‍යවශ්‍ය ය.

ප්‍රමිතියෙන් තොර පොහොර යෙදීම අස්වැන්න හීන කිරීමට හේතුවක් වේ.

ඒයින් ගොවි බිම් විනාශ වී යනු ඇත. ගොවියා මහ මගට ඇද වැටෙනු ඇත.

වී අස්වනු නොමැති වීම යනු ලබන වසරේ ඒකාන්තයෙන් සාගතයක් කැඳවා ගැනීමකි.සෞභග්‍යයේ දැක්ම යනු මෙය නම් දැන් කළ යුත්තේ සෞභාග්‍යය යන වදනේ අරුත හෝ හැකි ඉක්මනින් වෙනස් කර ගැනීමට වෙර දැරීම යැයි යමෙකුට සිතෙන්නට පුලුවන.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර