වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයෙන් පියවර

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරෙන නව පනත් කෙටුම්පතට ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුරෝපා සංගමයට අයත් පළමු රට බවට ප්‍රංශය පත්වීමට නියමිතයි.
මෙම තහනම සිය ධුර කාලයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් ලෙස පෙන්වා දෙන ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ලබන සැප්තැම්බර් මාසය වන විට එය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ.“අපගේ දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් ආරක්ෂා කිරීමේදී යුරෝපයේ පෙරමුණ ගැනීමට ප්‍රංශයට හැකිව තිබෙනවා,” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කළේය. ඔහු මෙය හැඳින්වූයේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙසයි.අඟහරුවාදා දිනයේදී මෙම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා සිය ස්තූතිය ද පිරිනැමීය.“දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් මේ පිළිබඳව අවසන් තීරණය ගත යුතුව තිබෙනවා. ඉන්පසුව මෙම තීරණය සැබෑවක් කරමින්, අන්තර්ජාලය ඔස්සේ අපගේ දරුවන් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කාලය එළඹෙනු ඇති,” යනුවෙන් ඔහු X ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේය.ප්‍රංශ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ මෙම පනත් කෙටුම්පත, පසුව පහළ මන්ත්‍රී මණ්ඩලයේදී වැඩිඡන්දයෙන් සම්මත විය. එහිදී පනතට පක්ෂව ඡන්ද 279ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 81ක් පමණි.මෙම නව නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට් සහ X වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවලට වයස් සත්‍යාපනය දැඩි කිරීමට සිදුවනු ඇති අතර, නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට දැඩි දඩ මුදල් පැනවීමට නියමිත බවද වාර්තා වේ.මීට පෙර ඕස්ට්‍රේලියාව වයස 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් හඳුන්වා දී තිබූ අතර, දැන් යුරෝපය තුළ එවැනි පියවරක් ගත් පළමු රට ලෙස ප්‍රංශය ඉතිහාසයට එක්ව තිබේ.

කාලීන පුවත්