වාර අවසානයේ පාසල්වල ‘ගුරු පඬුරු’ තහනම්

පාසල් දරුවන් වෙනුවෙන් පන්ති භාර ගුරුවරුන්ට මවුපියන්ගෙන් මුදල් එකතු කර තෑගිභෝග ලබා දීම තහනම් කර තිබියදීත්, එය නොසලකා හැර කටයුතු කරන අය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට යයි.

පාසලක් තුළ එසේ මුදල් එකතු කර, ගුරුවරුන් වෙත තෑගි ලබාදීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ අදාළ පාසලේ විදුහල්පතිවරයා දැනගත යුතු බව පෙන්වා දුන් ඇමතිවරයා මෙසේ මවුපියන්ගෙන් මුදල් එක් රැස් කර තෑගි පිරිනැමීමේ අවස්ථා ඇතොත් අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.

පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු වෙනත් අවශ්‍යතාවන් සඳහා මවුපියන්ට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට පවතින ආර්ථික අර්බුදය නිසා සිදුව ඇති මේ අවස්ථාවේ ගුරුවරුන්ට තෑගි පිරිනැමීමට කටයුතු කිරීම බලවත් වරදක් බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

මෙවැනි සිද්ධීන් බහුලව සිදුවන්නේ නාගරික පාසල්වල බැවින්, මෙම තත්ත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කර තිබියදීත් එවැනි දේ සිදුවෙනවා නම් වහා ම දැනුම් දෙන ලෙස සඳහන් කළ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ගුරුවරුන්ට මෙසේ තෑගි ලබා දීමත්, ගුරුවරු එම තෑගි භාර ගැනීමත් වරදක් යැයි ද පැවසීය.

කාලීන පුවත්