වැටුණු බිස්නස් ගොඩ දාන්න ආකර්ශණ කර්මයට පුළුවන් ද?

පසුගිය දිනයෙක පෙරවරුවේ මම ගම්පහ නගරයේ රස කැවිලි හලකට ගියෙමි.ඒ වන විට එහි කිසිවකුත් පෙනෙන්නට නොසිටි අතර භාරතීය ගීත කෝකිලාවක වන අනුරාධා පෞද්වාල් ගයන සුමධුර භජන් ගීයක් එහි ශබ්ද විකාශනයෙන් ප්‍රචාරය වෙමින් තිබිණ.එමෙන්ම ඒ වටපිටාවේ සුමධුර ධූප සුගන්ධයක් ද පැතිර තිබූ මුත් එහි භාණ්ඩ අලෙවි කරන කිසිවකුත් ඉදිරියට ආවේ නැත.සාමාන්‍යයෙන් මෙබඳු විටෙක අප කරනුයේ ‘එම වෙළඳ සළේ කවුරුන් හෝ නොමැති ද?’ යන්න තරමක් හඬ නඟා අසා සිටීම ය.එහෙත්, මෙහි දී මට එසේ අසා සිටීමට නම් එම භජන් ගී හඬ යටපත් වන සේ මුව තබා කතා කළ හැකි ශබ්ද වාහිනියක් හෙවත් මෙගාෆෝන් කට්ටලයක් රැගෙන යා යුතු විය.අවසානයේ මම විනාඩි පහක් පමණ එම රස කැවිලි හල ඉදිරියේ බලා සිට ආපසු හැරුණෙමි.එහෙත් එහි වඩාත් රසවත් සිදුවීම වූයේ එම භජන් ගී වාදනය එහි හිමි කරුවන් ව්‍යාපාර ප්‍රවර්ධනය අරමුණින් යොදා තිබීම ය වර්තමානයේ රට පුරා පැතිරගත් දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ලොකු, කුඩා වෙළෙඳ ව්‍යාපාර ද දරුණු බිඳවැටීමකට ලක්ව තිබේ. ඉන් නැවත ගොඩ ඒම, නැගී සිටීම පිණිස එම ව්‍යාපාරිකයෝ අනේකවිධ උපාය මාර්ග යොදති. නොයෙකුත් ව්‍යාපාරික උපක්‍රම සේම ඇතැම් විට විවිධාකාර කපටිකම්, වංචාවන් ද ඇති බව පිළිගැනීමට අපට සිදු වෙයි.

මේ අතර අප ජන සමාජයේ සැලකිය යුතු පිරිසක් තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ගුප්ත ශාස්ත්‍රයන්හි පිහිට සොයන බව ද රහසක් නොවේ.
තමන්ගේ ව්‍යාපාරයට හිතදායී ගුප්ත බලපෑම් එල්ල විය හැකි සුවඳ දුම් වර්ග ඇල්ලීමේ සිට එම ව්‍යාපාර කේන්ද්‍ර කරගත් අනේකවිධ පුද පූජා සහ යාතුකර්ම සිදු කිරීම සේම තම ව්‍යාපාර ස්ථාන ආශ්‍රිතව ශබ්ද විකාශන මාර්ගයෙන් පිරිත් දේශනා සේම භජන් ගීත ප්‍රචාරය කිරීම ද අද බහුලව සිදුවන්නකි. මීට අමතරව තම ආයතනයට සෞභාග්‍යය උදා කරන විවිධ වස්තුන් එම ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව තබා ගැනීම ද බහුලව සිදුවනු දක්නට පුළුවන. මීටත් අමතරව තම තමන්ගේ ආගම්වලට අයත් පූජ්‍ය සහ පූජක පක්ෂය එම ආයතනවලට කැඳවා ආගමික වශයෙන් සෙත් ශාන්තිය උදා කෙරෙන ආගමික කර්තව්‍යයන් ඔවුන් ලවා ඉටු කරවා ගැනීම ද සුලබ තත්ත්වයක් සේ සැලකිය හැකිය.

එහෙත්, මෙකී නොකී සියලු කටයුතු, ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය දැනුමක් හෝ අවබෝධයක් බොහෝ දෙනකු තුළ නොමැති බව පෙනේ. ඔවුන් බොහෝ විට එම කටයුතුවලට යොමු වනුයේ කවරකුගේ හෝ ඉගැන්නුම් බහකට බව පෙනෙයි. මේ අතර මොවුන්ගෙන් කොටසක් තමන්ගේ ආගමික, සංස්කෘතික සන්දර්භයෙන් පරිබාහිර පුද පිළිවෙත්, අභිචාර විධි සඳහා යොමු වන අවස්ථා ද වරින් වර අසන්නට ලැබේ.ඉහත සඳහන් භජන් ගී ප්‍රචාරය ද සිංහල බෞද්ධ සංස්කෘතියට ඉඳුරාම පරිබාහිර වූවකි. තමන්ගේ ව්‍යාපාරවල අභිවෘද්ධිය පිණිස ලොව සෑම ජන සමාජයක්ම අනේක විධ ගුප්ත ශාස්ත්‍රවල පිහිට පැතීමේ අරුමයක් නැත. එහෙත් අපට ආවේණික පෙරදිග සංස්කෘතියේ ඒ සඳහා වෙන වෙනම උපාය මාර්ග සමූදායක් තිබේ. මේ ඒ අතරින් උපුටා ගැනෙන කොටසකි.
ඉන්දීය ගුප්ත ශාස්ත්‍ර ඇසුරින් අප සමාජයට උරුම වූ ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ අෂ්ට කර්මයක් ඇත. වශී, ආකර්ෂණ, මෝහන, ස්ථම්භන, විද්වේෂණ, උච්චාටන, මාරණ සහ ශාන්ති යනුවෙන් හැඳින්වෙන එම අෂ්ට කර්මයේ ව්‍යාපාරික ප්‍රවර්ධනය සඳහා වැඩිපුරම භාවිත වූ ගුප්ත ශාස්ත්‍රය ලෙස එහි දෙවැන්න වන ආකර්ෂ කර්මය හඳුන්වා දිය හැකිය.

මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතරේ මෙන්ම ගුප්ත ශාස්ත්‍රයන්හි නියුක්ත වූවන් අතරේ පවා විවිධ මතභේද පැවතීම ද විශේෂයෙන් අවධානයට ගත යුතු ය. ඉන් කොටසකගේ මතය වනුයේ යමකුට ව්‍යාපාරික ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නම් ආකර්ෂණ කර්මයට අමතරව වශී සහ මෝහන කර්ම ද යොදා ගත හැකි බවකි.
එහෙත්, මෙහි දී විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණක් තිබේ. එනම් වශී කර්මය යනු හුදෙක් පුද්ගල කේන්ද්‍රීය උපාය මාර්ගයක් බව ය. නිදසුනක් ලෙස කිසියම් කෙනෙකුට තමන් කැමැති කාන්තාව හෝ පුරුෂයා තමන් කෙරෙහි නතු කර ගත හැක්කේ වශී කර්මයකින් මිස ආකර්ෂණ කර්මයකින් නොවේ. එමෙන්ම මෙම වශීකර්මය රජුන්,විනිසුරුවරුන් ආදී ඕනෑම අයකු වෙත ද පුද්ගල කේන්ද්‍රීය ක්‍රියාවලියක් වශයෙන් යොමු කළ හැකි බව ද පැවසේ. එමෙන්ම මෙම වශීකර්මයේ පරිමාව ඇතැම් විට යම් පවුලක් වැනි කුඩා සමාජ ඒකකයක් වෙත ද යොමු කළ හැකි බව කියනු ලැබේ. එහෙත්, එම මට්ටම තුළ දී එය ආකර්ෂණ කර්මයක් ලෙස සඳහන් නොවීම ද විශේෂත්වයයි. මෙහි දී ආකර්ෂණ කර්මය හා මෝහන කර්මය ද එකක් සේ සමහරකු නම් කළ ද ඉහත සඳහන් අෂ්ට කර්මයට අනුව මෝහනය යනු යම් පුද්ගලයකුගේ සිහි විකල් කරවීමකි. නොඑසේ නම් පිස්සු වැට්ටවීමකි. ඒ අනුව ද එය ද මෙම ආකර්ෂණ කර්මය හා සම්බන්ධ කිරීමේ කිසිදු ශාස්ත්‍රීය පදනමක් නැත.

මෙම ආකර්ෂණ කර්මය සම්බන්ධ විවිධ පැරණි ලේඛණගත මූලාශ්‍ර තිබේ. ඒ අතුරින් බහුතරය මහනුවර යුගයේ දී ලියැවුණු පුස්කොළ පොත් බව නොරහසකි. කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇති එම යුගයට අයත් පුස්කොළ පොතකට අනුව මෙම ආකර්ෂණ කර්මය සඳහා වඩාත් සුදුසු දිනය සිකුරාදා වශයෙන් දක්වා තිබේ. බෙරණ,පුවපල් සහ පුවසල යන නැකැත් ඒ සඳහා වඩාත් යෝග්‍ය බව ද එහි දක්වා ඇත. රෑ මැදියමට ආසන්න එදින හිරු උදාවට සාපේක්ෂව තීරණය කරන හෝරාවක රත් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඇදුරකු කිරි ගසක් පාමුල උතුරු දිශාභිමුබව සිදු කරන මෙම ආකර්ෂණ කර්මය සඳහා සමන්පිච්ච මල්, කනේරුමල්, එළකිරි, මීකිරි, දීකිරි, ගිතෙල්,
වෙඬරු යන පස්ගෝරස මීපැණි උක් සකුරු ආදී පූජා භාණ්ඩ යොදා ගත යුතු බව සඳහන් ය.

එමෙන්ම අප බොහෝ දෙනකු සිතන අන්දමට මෙම ආකර්ෂණ කර්මය ඉලක්ක කරගත යුත්තේ ධනයට අධිපති ලෙස සැලකෙන ලක්ෂ්මී දේවිය නොවේ. ඒ සම්බන්ධ ප්‍රධාන දේවතාවිය ශාස්ත්‍ර ග්‍රහණයට, කලාවට අධිපති සරස්වතී දේවිය බව පැරණි ඉගැන්වීම් වල සඳහන් ය.. මීට අමතරව රති කාම ආදී උපදේවතා සමූහයක් ද මෙම ආකර්ෂණ කර්මය සම්බන්ධ පුද පූජාවලට ලක්වන බව පැවසෙයි.
එහෙත්, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුත්තක් තිබේ. එනම් අප විසින් කරන ලද සියලු විමසීම් වලට අනුව ව්‍යාපාරික දියුණුව සඳහා නූතන පරපුර විසින් කරනු ලබන කිසිදු නවීන විධිමත් ආකර්ෂණ කර්මයකින් එවන් ශාස්ත්‍රීය පදනමක් උකහා ගැනීමට අපට නොහැකි වීම ය.නමුදු ගත වූ කාලය තුළ අනේක විධ ප්‍රයෝග යොදා ව්‍යාපාර ප්‍රවර්ධනය කර ගත නොහැකි වූ කුරුණෑගල ප්‍රදේශයේ අයකු මෙබඳු ගුප්ත ශාස්ත්‍ර මඟින් අනුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන බව කියමින් සෑහෙන ධනයක් රැස් කරගෙන ප්‍රකට නමක් ද හදා ගෙන තිබේ.එහෙත්, ඒ ආකර්ෂණ කර්මය යොදා ගෙන ඔහුට තම ව්‍යාපාර ගොඩ දමා ගැනීමට නොහැකි වූයේ මන්දැයි ඇසීමට කිසිවකුත් ඉදිරිපත් ව නැති සේ ය.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය