වැල් පාලම පහු වුණාද? තාම නැද්ද? ජනපති හෙට පිළිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස නවයක කාලයේ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (1) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන ඉදිරි මෙයෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය කරමින් ඉදිරිපත් කරනු ඇත.මෙහි දී රටේ අනාගතය භාර ගැනීම සම්බන්ධයෙන් තමන් භාර ගන්නා වගකීම පිළිබඳව 2022 වසරේ මැයි 16 වන දා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති වරයා කියා සිටියේ තමන් මේ කරනුයේ හුණු වටයේ කතාවේ ගෲෂා නම් මෙහෙකාරිය අනුන්ගේ දරුවකු බේරා ගැනීම පිණිස ඔහු ද රැගෙන අතිශය අනතුරුදායක වැල් පාලමකට නැඟුණු ගමනට සමාන ගමනක් ආරම්භ කිරීමක් බව ය.එමෙන්ම මෙම වසරේ පෙබරවාරි 08 වන දා නව වන පාර්ලිමේන්තුවේ සතර වන සැසි වාරය අරඹමින් මේ වන විට තමන් ඒ වැල් පාලම ඔස්සේ සෑහෙන දුරක් පැමිණ ඇති මුත් ගමන සම්පූර්ණයෙන් නිමව නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා කීය.ඒ අනුව ඔහුගේ උපමාවට අනුව මේ වන විට එම වැල් පාලමේ ගමන නිම වී ඇද්දැයි ජනපති වරයා හෙට සෘජුව හෝ අනියමින් ප්‍රකාශ කරනු ඇතැයි යන්න බොහෝ දෙනකුගේ අපේක්ෂාව වී තිබේ.ඒ කෙසේ හෝ ඉහත සඳහන් වැල් පාලම උපමා කර ගත් ශ්‍රී ලාංකේය සමාජ ආර්ථික ගොඩ ගැනීම පිළිබඳ ජනපති වරයා ප්‍රකාශයේ මුල මැද අග අතර කිනම් හෝ සබැඳියාවක් දක්නට ලැබීම අප රටේ දේශපාලනඥයන් ගේ කතා අතුරින් ඉතා කලාතුරකින් දක්නට ලැබෙන්නකි.

කාලීන පුවත්