විදේශිකයන් මෙරට දී කරන සයිබර් අපරාධවල නිමක් නැද්ද?

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් (Cyber Crime Hub) වෙමින් පැවතීම මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද දැඩි අවධානයට ලක් වූ, අතිශය බරපතළ හා සංකීර්ණ ගැටලුවකි. වඩාත් කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම්, මෑතකාලීනව චීන අපරාධ කල්ලි ඇතුළු ජාත්‍යන්තර සංවිධානාත්මක සයිබර් අපරාධ කල්ලි ශ්‍රී ලංකාව තමන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමේ පැහැදිලි ප්‍රවණතාවක් මතු වී තිබේ. මෙම තත්ත්වය පසුපස ඇති සැබෑ පසුබිම, අපරාධකරුවන්ගේ ක්‍රමවේද සහ ඊට බලපා ඇති හේතු සාධක පහත පරිදි විශ්ලේෂණය කළ හැකිය.

මෙරට තුළ මහා පරිමාණ සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සිදු කිරීම සඳහා යොදා ගැනීමට රැගෙන ආ බවට සැක කෙරෙන, රුපියල් පනස් එක් ලක්ෂ හතළිස් දහසක් (රු. 5,140,000) වටිනා ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් MU-6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක ද වන බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පවසා තිබේ. මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු බදු ගෙවීමට හෝ ප්‍රකාශ කිරීමට කිසිත් නැති ශ්‍රී ලංකා රේගුවේ හරිත චැනලය (Green Channel) ඔස්සේ පිටව යාමට සැරසෙද්දී ය.

කටුනායකදී කොටු වූ චීන ජාතිකයන් තිදෙනා

ලැබුණු තොරතුරකට අනුව, ඉකුත් 19 වන දා කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් MU-6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක ද වන බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පවසා තිබේ. මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු බදු ගෙවීමට හෝ ප්‍රකාශ කිරීමට කිසිත් නැති ශ්‍රී ලංකා රේගුවේ හරිත චැනලය (Green Channel) ඔස්සේ පිටව යාමට සැරසෙද්දී ය.

ටොෆී චොකලට් සහ මේස් අස්සේ හැංගූ ජංගම දුරකථන

රේගු නිලධාරීන්ට හසු නොවන පරිදි ඉතා උපක්‍රමශීලී ක්‍රමවේද භාවිත කරමින් මෙම භාණ්ඩ තොගය සඟවා තිබූ ආකාරය විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී ඔවුන් තිදෙනා අතරින් පළමුවෙන්ම “හරිත මාවත” වෙත පිවිසි චීන ජාතික පිරිමි ගුවන් මගියා, තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් ලබා දෙන පොලිතීන් බෑග් අතර රැගෙන ආ කළු පැහැති “ටියුලිප්” වර්ගයේ පොලිතීන් බෑගය පිළිබඳව රේගු නිලධාරීන්ට සැක සිතී ඇත. එය පරීක්ෂා කිරීමේදී එහි තිබූ ටොෆී සහ චොකලට් ඇසුරුම් තුළ සඟවා තිබූ ජංගම දුරකථන තොගයක පළමු කොටස සොයා ගැනීමට හැකි විය.

ඉන්පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී, එම සැකකරු ඇඳ සිටි ඇඳුමට යටින් විශේෂයෙන් සකස් කරන ලද ජැකට්ටුවක් තුළ ද, ඔහුට පසුපසින් පැමිණි චීන ජාතික කාන්තාව පැළඳ සිටි පාවහන්වල මේස් (Socks) තුළ සහ අනෙක් චීන ජාතිකයාගේ ගමන් මල්ල තුළ ද සඟවා තිබූ ජංගම දුරකථන 87ක් සහ ඒවා සඳහා භාවිතා කරන බැටරි 140ක් සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකි වී තිබේ. දැනට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම රාජසන්තක කර ඇති අතර, සැකකරුවන් තිදෙනා අත්අඩංගුවේ තබා ගෙන ඇත. ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ විමර්ශන අංශය සමඟ ඒකාබද්ධව රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

කටුනායක දී රේගු භාරයට පත් භාණ්ඩ සහ රේගු නිලධාරීන්
කටුනායක දී රේගු භාරයට පත් භාණ්ඩ සහ රේගු නිලධාරීන්

දිවයින පුරා පැතිරුණු සයිබර් අපරාධ ජාලය

මෑතකදී අනාවරණය වූ ප්‍රධාන සිදුවීම්වලට අනුව පසුගිය වසර කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල, විශේෂයෙන් ම සංචාරක කලාප ආශ්‍රිතව සිදු කරන ලද වැටලීම් මඟින් මෙම තත්ත්වය සනාථ වී තිබේ. මේ අතර මහනුවර, අලව්ව, නෙලුව, කුණ්ඩසාලේ, මීගමුව සහ කොළඹ යන ප්‍රදේශවල පිහිටි තරු පන්තියේ හෝටල් හා සුඛෝපභෝගී නිවාස වටලා, එහි රැඳී සිටි චීන, ඉන්දුනීසියානු, තායිලන්ත සහ ඉන්දියානු ජාතිකයන් සිය ගණනක් එකවර අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. නමුත් ඒ අප රට තුළ හිඳින විදේශීය සයිබර් අපරාධකරුවන්ගෙන් යම් කොටසක් බව නිසැක ය. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී පරිගණක සිය ගණනක්, ජංගම දුරකථන දහස් ගණනක් සහ ශ්‍රී ලංකාව තුළ සක්‍රිය කරන ලද සිම් කාඩ්පත් (SIM cards) විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

‘පිග් බුචරින්’ වංචා සහ මානව ජාවාරම

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ජාලයන් ප්‍රධාන වශයෙන් ම සිදු කරනු ලබන්නේ මූල්‍ය වංචා (Financial Scams) සහ මානව ජාවාරම (Human Trafficking) එකිනෙක මුසු වූ ක්‍රියාවලියකි. ‘පිග් බුචරින්’ වංචා (ක්‍රිප්ටෝ වංචා): සමාජ මාධ්‍ය ජාල හරහා ධනවත් විදේශිකයන් සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන, පසුව ඔවුන් ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන (Crypto Investments) සඳහා පොළඹවා ගනිමින් කෝටි ප්‍රකෝටි ගණනින් මූල්‍ය වංචාවල නිරත වීම ඔවුන් අනුගමනය කරන ප්‍රධාන ක්‍රමවේදයකි.

එමෙන්ම ඉහළ වැටුප් සහිත රැකියා ලබා දෙන බව පවසා තායිලන්තය, මැලේසියාව වැනි රටවලින් තරුණ තරුණියන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සඟවා, බලහත්කාරයෙන් මෙම සයිබර් අපරාධ මධ්‍යස්ථානවල (Scam Centers) සේවය සඳහා යොදවනු ලැබේ.

මීට පෙර මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ සයිබර් අපරාධ කල්ලි ශ්‍රී ලංකාව දෙසට යොමු වීමට හේතු කිහිපයක් බලපා තිබේ. ශ්‍රී ලංකාව මෙවැනි මධ්‍යස්ථානයක් (Hub) වීමට බලපෑ හේතු කිහිපයකි. ඉන් ප්‍රධාන හේතුව අප රටේ පාලක කාරකාදීන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහොමයක් තුළ සයිබර් අවකාශය සම්බන්ධ නිවැරදි දැනුමක් නොමැති බව ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන් වටහා ගෙන තිබීම ය. ඒ බව ඔවුන් පමණක් නොව පරිගණක තාක්ෂණය දන්නා කුඩා දරුවෝ පවා දැන් වටහා ගෙන හිඳිති. ඒ අනුව මෙම සයිබර් අපරාධකරුවන්ට සංචාරකයන් ලෙස ඉතා පහසුවෙන් රට තුළට ඇතුළු වීමට ඇති හැකියාව සහ පසුව වීසා කාලය (On-arrival/Tourist Visas) නීතිවිරෝධී ලෙස දීර්ඝ කරගනිමින් මෙරට රැඳී සිටීමට ඇති අවකාශය මොවුන් ප්‍රයෝජනයට ගනිති.

මෙරට පවතින ආර්ථික වටපිටාව හමුවේ සුඛෝපභෝගී නිවාස සහ හෝටල් කාමර කුලියට ගැනීම විදේශීය මුදල් පරිහරණය කරන මෙම කල්ලිවලට ඉතා ලාභදායී වේ. එමෙන් ම, දේශීය තරුණයන් ද සුළු වැටුප්වලට සහායක සේවාවන් සඳහා ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. සයිබර් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අධිවේගී අන්තර්ජාල (Fiber/4G) පහසුකම් ශ්‍රී ලංකාව තුළ බහුලව ව්‍යාප්ත වී තිබීම ද මොවුන් අත්විඳින තවත් පහසුවකි. සයිබර් අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීති රීති, විශේෂයෙන් ම විදේශිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී පවතින ප්‍රමාදයන් සහ ඇතැම් ක්ෂේත්‍රවල පවතින දූෂිත ස්වභාවය අපරාධකරුවන්ට වාසිදායක පරිසරයක් නිර්මාණය කර දී ඇත.

රටට අත්වන ජාත්‍යන්තර අපකීර්තිය

ලොව සයිබර් ආරක්ෂණ පද්ධතිය දුර්වල රටවල් අතරට ශ්‍රී ලංකාවේ නාමය ද මේ වන විට ඇතුළත් වී තිබීම, ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන්ට අතිශය සුබදායක ආරංචියක් වී ඇත. අප රට සතු සයිබර් තාක්ෂණික පහසුකම්වලට සාපේක්ෂව සයිබර් ආරක්ෂණ ජාලය ප්‍රමාණවත් තරම් සවිමත් නොවීමත්, ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකික සමාජය තුළ පවත්නා පරිගණක තාක්ෂණික දැනුම අවම මට්ටමක පවතින බවත් පසුගිය සිදුවීම් ඇසුරින් ඔවුන් වටහාගෙන ඇති සේය.

කෙසේ වුවද, මෙවැනි අපරාධ සම්බන්ධයෙන් සිදුවන ජාත්‍යන්තර විමර්ශනවලදී එම වංචා මෙහෙයවූ රට ලෙස ශ්‍රී ලංකාවේ නම එළිදරව් වීම අප රටට පෙර නොවූ විරූ බරපතළ අපකීර්තියක් මෙන්ම ජාත්‍යන්තර නීතිය හමුවේ විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජාත්‍යන්තර පොලිසිය (Interpol) සමඟ ඒකාබද්ධව මෙම ජාලයන් මර්දනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ඇත්තකි. මීට අමතරව, නව සයිබර් ආරක්ෂණ පනත් (Cyber Security Act) හඳුන්වා දීම සහ ආගමන විගමන නීති දැඩි කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු ව තිබේ.

ගත යුතු දැඩි ක්‍රියාමාර්ග

මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජාත්‍යන්තර පොලිසිය (Interpol) සමඟ ඒකාබද්ධව මෙම ජාලයන් මර්දනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ඇත්තකි. මීට අමතරව, නව සයිබර් ආරක්ෂණ පනත් (Cyber Security Act) හඳුන්වා දීම සහ ආගමන විගමන නීති දැඩි කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු ව තිබේ.

කෙසේ වුව ද, මෙම අපරාධ ජාලය සම්පූර්ණයෙන් ම මුලිනුපුටා දැමීමට නම්, දේශීය මට්ටමින් සිම් කාඩ්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිට විදේශිකයන් නවාතැන් ගන්නා ස්ථාන නියාමනය කිරීම දක්වා වූ දැඩි පාලන යාන්ත්‍රණයක් මෙරට තුළ ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. නමුත් මෙරට තුළ මහා පරිමාණ සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සිදුවීමේ මෙම නව ප්‍රවණතාව මේ අයුරින්ම පැවතුණහොත් ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ පාරාදීසයක් ය යන හංවඩුව වැදීමෙන් මෙතෙක් අප රටට ජාත්‍යන්තරයෙන් හිමි වූ කිනම් හෝ ගෞරවයක් වී නම් එය ද කාබාසිනියා වීම නොවැලැක්විය හැකිය.

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර