විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා ගැන සතුටුදායක ආරංචියක්

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දියා- එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර සිටි සුපිරි ක්‍රීඩක විරාත් කෝලි හදිසියේම තරගාවලියෙන් ඉවත් වූ අවස්ථාවේ එය ක්‍රිකට් ලෝලීන් තුළ විශාල කුතුහලයක් සහ විමතියක් ඇති කරන්නක් වුණා. එය සාමාන්‍යයෙන් සිදු නොවන ආකාරයේ සිදුවීමක් වූ අතර කෝලි ක්‍රීඩා නොකිරීම ඉන්දියාවට විශාල අවාසියක් වනු ඇතැයි යන බියක් ද ක්‍රිකට් ලෝලීන් තුළ ඇතිව තිබුණා. ඒ සමගම කා තුළත් ඇති වූ ප්‍රශ්නය වූයේ ඔහු මේ ආකාරයෙන් ක්‍රිකට්වලින් නිවාඩු ගැනීමට හේතුව කුමක් ද යන්නයි. ඉතා බරපතල හේතුවක් නොවන්නට කෝලි මේ අන්දමින් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මග නොහරින බව කව්රුත් දැන සිටියා.

තමාට නිවාඩු දෙන ලෙස ඉල්ලා මෙයට සති කිහිපයකට පෙර ඔහු ඉන්දීය ක්‍රීකට් ආයතනයට යොමු කළ ලිපියේ සඳහන් වූයේ පෞද්ගලික කාරණයක් නිසා තමාට මේ ආකාරයෙන් නිවාඩුවක් අවශ්‍යව ඇති බව යි.

කෙසේ හෝ වේවා, මේ අවස්ථාවේ ක්‍රිකට් ලෝලීන් තුළ එක සැකයක් ඇති වුණා. එවැනි සැකයක් ඇති වුණේ කෝලි ගේ බිරිඳ, සිනමා නිළි අනුෂ්කා ෂර්මා ගැබ්බරව සිටින බවට ඒ දිනවල ආරංචි පැතිරෙමින් තිබීම නිසා යි. කෝලි තරගාවලියෙන් ඉවත් වූයේ ඇය සම්බන්ධ කිසියම් කාරණයක් නිසා විය හැකිය යන අදහසක් බොහෝ දෙනා තුළ ඇතිව තිබූ බව පෙනුණා.

මේ සැකය නිවැරදි බැව් පසුගිය අඟහරුවාදා (20) තහවුරු වුණා. ඒ තමුන් දෙදෙනා නැවතත් මව්පිය පදවි ලැබූ බැව් කෝලි සහ අනුෂ්කා එදින නිල වශයෙන්ම නිවේදනය කිරීම නිසා යි. ඔවුන් මේ ගැන නිවේදනය කළේ 20 වැනි දින වුවත් දරු ප්‍රසූතිය සිදුව තිබුණේ 15 වැනි දින යි. මේ බව කෝලි සහ අනුෂ්කා සිය සමාජ මාධ්‍ය පිටුවල තබා තිබූ සටහන්වල සඳහන්ව තිබුණා.

‘පෙබරවාරි 15 වැනි දින අපට පුතෙකු ලැබුණු බව මහත් සතුටින් සහ සිත පිරුණු ආදරයෙන් යුතුව අප දැනුම් දෙනවා. අපේ ජීවිතවල මෙම සුන්දර අවස්ථාවේ ඔබගේ ආශිර්වාදය සහ සුබ ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙනවා’ ඔවුන් දෙදෙනා එලෙස සටහන් කර තිබුණා.

කෝලි සහ අනුෂ්කා ඔවු්න් ගේ පුතු නම් කර ඇත්තේ අකායි යනුවෙන්. එය තරමක් අමුතු නමක් බව සඳහන් කළ හැකියි. මෙම නමේ තේරුම ගැනත් මාධ්‍ය තුළ සඳහන්ව තිබුණා. එය ‘කාය’ යන හින්දි වදන ආශ්‍රයෙන් සැදුණු නමක් බවයි පැවසෙන්නේ. ‘කාය’ යන්නෙහි තේරුම ශරීරය යන්න යි. ‘අකායි’ යන්නෙන් හැඟවෙන්නේ ‘භෞතික ශරීරය ඉක්මවා ගිය’ කියන එක යි.

කෝලිට සහ අනුෂ්කාට දැන් දරුවන් දෙදෙනකු සිටිනවා. ඔවුන්ගේ වැඩිමල් දරුවා දියණියක්. 2021 වසරේ උපන් ඇය පසුගිය ජනවාරි 11 වැනි දින සිය තුන්වැනි උපන් දිනය සැමරුවා. ඇගේ නම වාමිකා.

අනුෂ්කා සිය දෙවැනි දරුවා බිහි කළේ කොහේදී ද යන්නත් බොහෝ දෙනා තුළ විශාල කුතුහලයක් ඇති කර තිබූ කාරණයක්. ඇය දරු ප්‍රසූතිය සඳහා එංගලන්තයට යන බවටත් ආරංචි පැතිර තිබුණා. එම ආරංචිවල සත්‍යයක් තිබූ බවයි පෙනෙන්නේ. මේ බව තහවුරු කරන ආකාරයේ ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් තිබුණා. එයින් දැකගත හැකි වූයේ කෝලි ලන්ඩනයේ වීදියක ඇවිදිමින් සිටින ආකාරය යි. ඔහු ශීතලට අඳින ආකාරයේ ජැකට්ටුවකින් සැරසී තොප්පියක් ද හිස පැළඳගෙන සිටින ආකාරය මෙහි දැකිය හැකි වුණා. එම ඡායාරුපය කෝලිගේ රසිකයකු විසින් ගන්නා ලද්දක් බවයි පෙනුණේ.

දරු උපත ගැන කෝලි සහ අනුෂ්කා නිවේදනය කිරීමත් සමග ඔවුන්ගේ මිතුරු මිතුරියන් ද උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනු දකින්නට ලැබුණා. ආලියා භාත්, රන්වීර් සිං, සචින් තෙන්දුල්කාර්, ප්‍රීති සින්ටා, කරිෂ්මා කපූර්, අයුෂ්මාන් කුරානා, ශ්වේතා බච්චන් ඇතුළු තවත් බොහෝ දෙනෙක් මේ අතර සිටියා.

කෝලි සහ අනුෂ්කා විවාහ වී මේ වනවිට වසර 6 කට වැඩියි. ඔවුන් විවාහ වුණේ 2017 දෙසැම්බර් මාසයේ යි. ඔවුන් දෙදෙනා මුලින්ම එකිනෙකා මුණ ගැසී තිබුණේ වෙළෙඳ දැන්වීමක රූපගත කිරීමකට සහභාගි වූ අවස්ථාවේ යි. ඒ 2013 වසරේ. රංගනය එතරම් හුරු නැති නිසා එදින තමා තරමක් නොසන්සුන් සිතින් පසු වූ බව කෝලි වරක් පවසා තිබුණා. තමාට රඟපෑමට ඇත්තේ අනුෂ්කා ෂර්මා සමග බව දැනගත් විට එම නොසන්සුන් බව තවත් වැඩි වූ බවයි ඔහු තවදුරටත් පවසා තිබුණේ. ඒ වනවිටත් අනුෂ්කා ඉතා ජනප්‍රිය නිළියක්.

මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රියම අඹු සැමි යුවළක් වන ඔවුන් ඉතා සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටිනවා.

අනුෂ්කා රංගනයෙන් දායක වූ අලුත් සිනමාපටයකුත් ඉදිරියේ දී තිරගත වීමට නියමිත යි. Chakda ‘Xpress නැමැති මෙම සිනමාපටයත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ එකක්. එය නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ ඉතා දක්‍ෂ සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩිකාවක වූ ජුලාන් ගෝස්වාමි ගේ ජීවිත කතාව ඇසුරෙන්. ජුලාන් පන්දු යැවීමට මෙන්ම පිතිකරණයට ද දක්‍ෂතා දැක් වූ ක්‍රීඩිකාවක්. නමුත් ඇය වැඩි කීර්තියක් දිනාගත්තේ පන්දු යවන්නියක හැටියට යි. කාන්තා ක්‍රිකට් ලෝකයේ වේගවත්ම පන්දු යවන්නියක ලෙස ඇය ප්‍රසිද්ධියක් දිනා සිටියා.

Chakda ‘Xpress චිත්‍රපටයේ ජුලාන්ගේ චරිතයට පණ දෙන්නේ අනුෂ්කා යි. ඇය අවසන් වරට ප්‍රේක්‍ෂකයන් හමුවට ආවේ මෙයට වසර 5 කට පෙර තිරගත වූ ‘සීරෝ’ සිනමාපටයෙනු යි. එහි ඇය රඟපෑවේ ෂාරුක් ඛාන් සමග යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර