වෘත්තීය පිට කොන්දක් ඇති ප්‍රාදේශීය ලේකම් වරියක්

උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන බව සනාථ වී ඇති හිටපු අගමැති දී.මූ. ජයරත්න මහතාගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්න මහතාට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වන විට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය ලිඛිතව දන්වා තිබේ.රජයේ ඉඩම් සන්තකයේ ලබාගැනීමේ පනතේ 3වන වගන්තිය ප්‍රකාරව එම වත්කමේ නිසි බලධාරියා ලෙස ඇය වෙත පැවරී ඇති බලතල අනුව ප්‍රාදේශීය ලේකම්වරිය අනුරාධ ලංකා ජයරත්න මහතාට වහාම එම දේපල අතහැර යන ලෙස එම සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් එහි අදාල ලිඛිත නිවේදනය එහි අලවා තිබේ.අනුරාධ ජයරත්න මහතා මෙතෙක් අනවසරයෙන් භුක්ති විඳමින් ආදායම් උපදවා පුද්ගලිකව පරිහරණය කර ඇත්තේ අංගමන බටහිර ග්‍රාම නිලධාරී වසමේ රදාව වත්තේ හෙක්ටයාර 0.3283ක් පමණ වූ බිම් කොටසකට අයත් ගොඩනැගිල්ලකි.මෙම කටයුත්තේ ඇති අනීතික භාවය පිළිබඳව ප්‍රදේශවාසීන් නොයෙක්වර කරුණු දක්වා ඇතත් මින් පෙර සිටි බොහෝ රාජ්‍ය නිලධාරීන් තම රාජකාරිය පැහැර සිට ඇති බව වාර්තා වේ.ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ගත් මෙම නීත්‍යානුකූල පියවරත් සමග ඇයට රාජ්‍ය නිලධාරීන්ගෙන් පවා බලපෑම් එල්ල වෙමින් ඇති බව ද වාර්තා වෙමින් තිබේ. ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය උඩපලාත ප්‍රාදේශීය ලේකම් ධූරයේ වැඩ භාරගෙන ඇත්තේ මෑතක දීය.

කාලීන පුවත්