සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති අතර කුකුළාගල කඳු පන්තියත් එකක් ලෙස සැලකෙනවා. හඟුරන්කෙත කන්ද, දියතලා කන්ද ආදී වශයෙන්ද හඳුන්වන මෙම කඳු පන්ති අතර කුකුළාගල උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1530ක් බවයි පැවසෙන්නේ.
කුකුළාගලට යන්නෙ මේ විදිහට. ඔබ ගමන් කරන්නේ පොදු වාහනයකින් නම් මහනුවරට ඇවිත් රිකිල්ලගස්කඩ හෝ පදියපැලැල්ල බස් එකකින් ගිහින් රිකිල්ලගස්කඩින් බැස ගත යුතුයි. ඔබ දිගන හරහා එන්නේ නම් තැන්නේකුඹුර පාලම ළඟ මංසන්ධියෙන් රිකිල්ලගස්කඩ හෝ පදියපැලැල්ල බස් එකකට ඔබට නගින්න වෙනවා. ඔබ පෞද්ගලික වාහනයකින් ගමන් කරන්නේ නම් දිගන පාරේ තැන්නෙකුඹුර පාලමට කලින් හමුවන මංසන්ධියෙන් දකුණට තිබෙන පාරේ කිලෝමීටර් 30ක් පමණ ගියවිට රිකිල්ලගස්කඩ නගරයට පැමිණිය හැකියි. දිගන පැත්තෙන් එනවා නම් තැන්නේකුඹුර පාලම තිබෙන මංසන්ධියෙන් හාරගම පාරේ රිකිල්ලගස්කඩට එන්න පුළුවන්.

ඊළඟට ඔබ රිකිල්ලගස්කඩින් දිවුල්කුඹුර පාරේ යා යුතුයි. මේ පාරේත් බස් ධාවනය වෙනවා. මේ පාරේ කිලෝමීටර් හතරක් විතර දුර ගියාම වම් පැත්තෙන් කනත්තක් ළඟින් කොන්ක්‍රීට් පාරක් හමුවේවි. මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික් දෙකේ මායිම තමයි මේ කන්ද පිහිටි ප්‍රදේශය.
ඔබ හඟුරන්කෙත පැත්තෙන් එන්නේ නම් අධිකාරිගම පාරේ යන්න ඕනේ. හරියටම උඩවත්ත කුඹුරු යාය ඉවර වෙන තැනට.
මේ කොන්ක්‍රීට් පාරේ දිගටම යනකොට ඒ පාර අවසන් වෙලා බොරළු සහිත පාරක් හමුවේවි. ඒ පාරේ දිගටම යන විට ලොකු පර්වතයක් සමග දකුණු පැත්තට තියෙන අඩි පාරක් හමුවෙනවා. මේ පාරේ යන විට ඈතින් ඔබට සන්නිවේදන කුළුණු දෙකක් දැක ගන්න ලැබේවි. එයින් ළඟින් තියන කුළුණ කිට්ටුවට ගියාම ෆයින් කැලේ ඇතුළට යන අඩි පාරක් පෙනෙයි.

කන්ද නගින්න පටන් ගත්තට පස්සේ කැලෑව ඇතුළට ගමන් කරනකොට විල්පාසා වැව හම්බවෙනවා. සමහරු මෙය විල්පස්ස වැව ලෙසින්ද හඳුන්වනවා. මේ වැව වගා බිම්වලට ජලය ලබා ගැනීම සඳහා නිර්මාණය කර තිබෙන එකක් නිසා බොහොම ගැඹුරුයි. එනිසා කිසි විටෙකත් මේ වැව නෑම සඳහා තෝරා ගන්න එපා.
මේ වැවට එන අඩි පාරේ ඇවිත් ඊළඟට ඔබ වම් පැත්තෙන් උඩට හැරෙන අඩි පාර දිගේ යා යුතුයි. මෙය මාන පඳුරුවලින් ගැවසී ගත් අඩි පාරක් නිසා ගමන තරමක් අසීරුයි. ඉන්පසු ඔබ පිවිසෙන්නේ ෆයිනස් කැලෑවකට. මේ විදිහට යනකොට ගල් පර්වත දෙකක් මැද්දෙන් තිබෙන අඩි පාර ඔබට දකින්න ලැබේවි. වියළි ෆයින් කොළ මේ පාර දිගට වැටී තිබෙන නිසා තරමක් ලිස්සන සුළුයි. ඒ ගැනත් කල්පනාවෙන් යන්න. මොකද පහළින් තියෙන්නේ හෙළ. කූඩැල්ලන්ගේ උවදුරත් අඩුවක් නැතිව තියෙන නිසා ඒකටත් සූදානමින් යා යුතුයි. මේ විදිහට ගිහින් ඔබට පළවෙනි කන්දට නැග ගන්න පුළුවන්.

දෙවෙනි සහ තුන්වෙනි කන්දට නැග්ගත් හතරවෙනි කන්දට නම් නඟින්න බෑ. පස්වෙනි කන්ද නැග්ගට පස්සේ වික්ටෝරියා ජලාශය, වික්ටෝරියා වේල්ල, රන්දෙනිගල ජලාශය, රන්දෙනිගල වේල්ල, හුන්නස්ගිරිය, පෙට්ටිගල, ගොම්බානිය, යකුන්ගේ හෙළ, අළුගල්කන්ද, කොබෝනීලගල, දුම්බානාගල, ඇටිපොළ කන්ද, මහනුවරින් හන්තාන, ඌරාගල, කටුසු කොන්ද , කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොළුකන්ද , බිසෝ ගල ඔබට වටේට දැක ගන්න ලැබේවි.
ඊළඟට ඔබ යා යුතු වන්නේ හයවෙනි කන්දටයි. මේවා කඳු ලෙසින් හැඳින්වූවත් ඇත්තෙන්ම ගල් පර්වතයි. සමිට් පොයින්ට් වශයෙන් හැඳින්වෙන මෙහි උසම ස්ථානයේදී අංශක 360ක වපසරියක් සහිතව වටේටම දැකිය හැකියි. මුහුදු මට්ටමේ සිට අඩි 1530 ක් පමණ උස් වූ මෙහිදී ස්ථානයේදී ඔබට දැක ගන්නට ලැබෙන ස්ථාන අතර කෙහෙල්පත්දෝරුව, නවනගල, දෝතලුගල, යහන්ගල, වෙල්ලන්ගොල්ල පතන, රජගල හෙවත් මැද මහනුවර කන්ද, කොකාගල ආදිය විශේෂයි.
අංශක 360ක වපසරියකින් මෙහි බොහෝ ඈත දුරක් දැකිය හැකි නිසා ඉංග්‍රීසීන්ගේ කාලයේ මෙම කුකුළාගල කන්ද මිනින්දෝරු කටයුතුවලදී භාවිතා කර තිබෙන බවට සාක්ෂි තිබෙනවා.

JPW 192, MB GER 1910
C. EARNSKAYI 1910 May
5 – 13
J.P. M. Ambeck 1924
මේ අතර දැකිය හැකියි. නමුත් ඇතැම් විට මෙහි අකුරුවල යම් වෙනස්කම් පවතින්න පුළුවන්. හේතුව, දැන් එය පැහැදිලිව දැක ගැනීමට බොහෝ අසීරු නිසයි.
කුකුළාගල කන්ද තරණය කිරීම අසීරු වුවත් සංචාරකයින් අතරේ දැන් මෙය ජනප්‍රියයි. ඒ නිසාම මෙහි කඳවුරු රාත්‍රීන් ගත කිරීමට සංචාරකයින් ඉතාමත් ප්‍රිය කරනවා. උදේ පාන්දර ඉර පායන්නට ආසන්න වෙලාවේ දී මෙහි හාත්පස දකින්නට ලැබෙන සුන්දරත්වය වචනවලට පෙරළීම අසීරු යි. එය අත්දැකීමෙන්ම විඳගත යුතු දෙයක්.
ඒ කෙසේ වුවත් ඔබ කඳවුරු රාත්‍රියක් ගත කරනවා නම් පසුදා ආපසු පිටත්වීමට පෙර ඔබ දල්වන ලද ගිනි මැලයේ අන්තිම ගිනි පුපුර පවා වතුර දමා නිවා දමන්නට අමතක කරන්න එපා. එසේම ඔබ ගෙන යන පොලිතින් ප්ලාස්ටික් වීදුරු බෝතල් මේ කිසිවක් හෝ එහි නොදමා සියල්ල ආපසු රැගෙන ඒමට තරම් මේ සුන්දර පරිසරයට ඔබ කාරුණික වන්න. සොබා දහම විසින් අපේ රටට දී තිබෙන මේ සුන්දර දායාද වෙන කොහේවත් දැක ගන්න නොලැබෙන තරම්. එනිසා අනාගත පරපුර වෙනුවෙන් මේ සියල්ල ආරක්ෂා වීම සඳහා ඒවා එපරිද්දෙන්ම තියෙන්නට හරින්න.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව