ශ්‍රී ලංකාවේ 14 හැවිරිදි දැරියක් ඉන්දියාවේ රියැලිටි තරගයකින් ජය ලබයි

ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් විසින් පවත්වන ලද සංගීතමය රියැලිටි වැඩසටහනකින් ඉන්දීය තරගකරුවන් ද පරදවමින් ජය ලබන්නට ශ්‍රී ලාංකික දැරියක සමත්ව සිටිනවා. 14 වැනි වියේ පසුවන ඇයගේ නම කිල්මිෂා. ඇය ශ්‍රී ලංකාවේ යාපනයෙ හි උපත ලැබූ දැරියක්.

කිල්මිෂා මේ ආකාරයෙන් ජයග්‍රහණය කර ඇත්තේ දකුණු ඉන්දියාවේ Zee Tamil නැමැති නාලිකාව විසින් පවත්වනු ලැබූ රියැලිටි වැඩසටහනකින්. මෙම වැඩසටහන හැඳින්වෙන්නේ සරිගමප ටැමිල් ලිට්ල් චැම්ප්ස් SAREGAMAPA Tamil Little Champs යන නමින්. මෙම වැඩසටහන හරහා ඇය ඉන්දියානු රසිකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ රසිකයන් ද විස්මයට පත් කිරීමට සමත් වුණා.

යාපනයේ උපන් කිල්මිෂා ඉතා කුඩා කාලයේ සිටම සංගීතයට අති විශේෂ හැකියාවක් පෙන්වූ බව සඳහන්. ඇයගේ පියා වන උදයසීලන් මෙන්ම මව තමිලිනී ද සිය දියණියගේ හැකියාවන් තව තවත් වර්ධනය කිරීමට මුල සිටම සහය දී තිබුණා. කුඩා කාලයේම කිල්මිෂා ගේ හැකියාවන් හඳුනාගත් ඇයගේ ගුරුවරුන් ද නිබඳ ඇය දිරිමත් කරමින් ඇයට අවශ්‍ය සහය ලබා දුන් බව සඳහන් වෙනවා. යාපනයේ සුවිශේෂී සංස්කෘතික උරුමයන් ද කිල්මිෂාට ඇයගේ හැකියාවන් පෝෂණය කරගන්නට මහඟු පසුබිමක් සපයා දී තිබුණා. ඇය ජීවත් වුණේ තල් ගස්වලින් සහ සුන්දර මුහුදු තීරයකින් අලංකාර වූ ප්‍රදේශයක යි.

සාමාන්‍ය අධ්‍යාපනය ලබන අතර ඇය දිගටම සංගීතයත් හදාරා තිබූ බව පැවසෙනවා. කිල්මිෂා ගේ මව්පියන් සිය දියණියව කුඩා කාලයේ සිටම සංගීත පන්තිවලට සහභාගි කර තිබුණා.

කිල්මිෂා ට කිස්වින් නමින් බාල සහෝදරයකු ද සිටිනවා.

ඉහත කී රියැලිටි තරගය සඳහා මුලින්ම පරීක්‍ෂණ පවත්වා තිබුණේ මාර්ගගත ක්‍රමයට යි. එයින් පසු ඊළඟ වටයේ දී සාමාන්‍ය ආකාරයෙන් පරීක්‍ෂණ පැවැත්වුණු අතර දකුණු ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු, අන්ද්‍රා ප්‍රදේශ්, තෙලඟානා, කර්ණාටක යන ප්‍රාන්තවල මෙම පරීක්‍ෂණ පවත්වා තිබුණා. විනිසුරුවරුන් මෙහි දී තරගකරුවන් සහ තරගකාරියන් 45 දෙනෙකු තෝරා ගත්තා. ඔවුන් අතර පැවැති තරගවලින් පසු ඊළඟ වටය සඳහා තරගකරුවන් තරගකාරියන් 30 දෙනෙකු තෝරා ගැනුණා. ඔවුන් තෝරා ගැනුණේ ද විනිශ්චය මණ්ඩලයක ලකුණු මත පදනම්ව යි.

අවසන් වටය සඳහා සහභාගි වූ තරගකරුවන් තරගකාරියන් ගණන 6 ක්. එම වටය සඳහා තේරුණේ රික්ෂිතා ජවහර්, කිල්මිෂා, සන්ජනා, රුද්‍රේශ් කුමාර්, කණිෂ්කාර් සහ නිශාන්ත් කාවින් යන සය දෙනා යි. අවසන් වටයේ දී සෙසු තරගකරුවන් සහ තරගකාරියන් පරාජය කරමින් ජයග්‍රහණය හිමි කරගන්නට කිල්මිෂාට හැකි වුණා. මෙහි දී ඇයට ඉන්දීය රුපියල් ලක්‍ෂ 10 ක තෑගි මුදලක් හිමි වුණා. එය ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 40 කට ආසන්න යි.

කිල්මිෂා ජයග්‍රහණය කළේ මෙම රියැලිටි තරග මාලාවේ තුන්වැනි අදියර (Season 3 ) යි. ශ්‍රීනිවාස්, අභිරාමි, විජේ ප්‍රකාශ් සහ සෛන්ධවි ප්‍රකාශ් යන අයයි මෙහි විනිසුරුවන් ලෙස කටයුතු කර තිබුණේ.
කිල්මිෂාගේ ගායන හැකියාව මෙන්ම ඇයගේ හැඟීම්බර කටහඬ ද විනිසුරුවරුන්ගේ මහත් අගැයුමට ලක් වූ අයුරු දැකගන්නට ලැබුණා. ඇතැම් රසික රසිකාවියන් පවසා තිබුණේ ඇය ගායනා කරනු අසා සිටින විට දෑස්වලට කඳුළු නැගෙන බවයි.

මෙම තරගය සංවිධානය කළ Zee Tamil නාලිකාව දකුණු ඉන්දියාවේ ජනප්‍රියම නාලිකාවක්. Zee Entertainment Enterprises නැමැති සමාගම සතු එය ජාත්‍යන්තර නාලිකාවක් වන අතර ලොව රටවල් රැසක එය බෙහෙවින් ජනප්‍රිය යි. මෙම නාලිකාව හරහා ප්‍රධාන වශයෙන් ප්‍රේක්‍ෂකයන් වෙත ගෙන එන්නේ විනෝදාස්වාදය සපයන මෙවැනි වැඩසටහනු යි.

SAREGAMAPA Tamil Little Champs රියැලිටි වැඩසටහන් මාලාව ඔවුන් මුලින්ම ආරම්භ කර තිබුණේ 2016 වසරේ යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර