ෂාරුක්ගේ ‘ජවාන්’ මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දීය චිත්‍රපටය බවට පත් වෙයි

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් විසින් පිහිටුවනු ලැබූ වාර්තා ඔහු විසින්ම බිඳ දමනු ලබන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබේ. ඔහුගේ අලුත්ම සිනමාපටය වන ජවාන් මේ වෙද්දී සිනමාලෝලීන් තුළ මහත් උන්මාදයක් ඇති කරන්නට සමත්ව ඇති අතර මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු සිනමාපටය ලෙස දැන් වාර්තාවක් ද පිහිටුවා තිබේ. මෙම සටහන ලියන 4 වැනි බ්‍රහස්පතින්දා වනවිට එය ලොව පුරා ප්‍රදර්ශණයෙන් උපයා තිබූ ආදායම සටහන් වූයේ ඉන්දියානු රුපියල් කෝටි 1,090 ක් ලෙසිනි.

මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ සිනමාපටය යන වාර්තාවට මෙයට පෙර හිමිකම් කීවේ ද ෂාරුක්ගේම චිත්‍රපටයකි. ඒ මෙම වසර මුල ප්‍රේක්‍ෂකයන් හමුවට ආ ‘පතාන්’ චිත්‍රපටය යි. එය ලොව පුරා ප්‍රදර්ශණයෙන් ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 1,050 ක් විය.

මේ වසර තුළ ඉහළම ආදායම් ඉපැයූ ඉන්දිය චිත්‍රපට පිලිබඳ ලැයිස්තුවේ 3, 4 සහ 5 යන ස්ථාන හිමි කරගෙන සිටින්නේ සනී ඩියොල් රඟපාන ‘ගදාර්-2’, රජිනිකාන්ත් රඟපාන ‘ජේලර්’ සහ රන්වීර්/ආලියා රඟපාන ‘රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි’ යන සිනමාපට යි. ඒවා 4 වැනි දා වනවිට උපයා තිබූ ආදායම් සටහන් වූයේ පිලිවෙලින් ඉ.රුපියල් කෝටි 690, කෝටි 600 සහ කෝටි 355 ක් ලෙසිනි. මේ අනුව පෙනෙන්නේ ෂාරුක්ගේ චිත්‍රපට දෙක සෙසු චිත්‍රපටවලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවයි.

එකම වසරක් තුළ ඉ.රුපියල් කෝටි 1,000 ඉක්මවා ආදායම් ඉපැයූ චිත්‍රපට දෙකක්ම දායාද කළ එකම ඉන්දීය නළුවා ලෙස ද දැන් ෂාරුක් වාර්තාවක් පිහිටුවා ඇත. මෙය ඔහුගේ රංගන ජීවිතයේ සුපිරි ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

‘පතාන්’ චිත්‍රපටයේ ෂාරුක් රඟපෑවේ වසර හතරකට ආසන්න කාලයක් රඟපෑමෙන් ඉවත්ව සිටීමෙන් පසුව ය. ඊට පෙර ඔහු රඟ පෑ අවසන් චිත්‍රපටය වූයේ ‘සීරෝ’ නැමැති සිනමාපටය යි. එය තිරගත වූයේ 2018 වසරේ ය. මෙහි ෂාරුක් සමග ප්‍රධාන කාන්තා චරිතය නිරූපනය කළේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ බිරිඳ වන අනුෂ්කා ෂර්මා යි.

කෙසේ නමුත් ‘සීරෝ’ ද ඇතුළු තමාගේ අවසන් චිත්‍රපට කිහිපයක් සිතූ තරම් ප්‍රේක්‍ෂක ආකර්ශණයක් දිනාගන්නට සමත් නොවීම ෂාරුක් තුළ යම් කණස්සලක් ඇති කර තිබූ බවක් ඒ කාලයේ මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ෂාරුක්ට රංගනයෙන් සමු ගැනීමට කාලය පැමිණ ඇතැයි වැනි නිර්දය ප්‍රකාශ පවා ඒ කාලයේ ඇතැමුන් කරනු දක්නට ලැබිණි. ඔහු ටික කාලයකට විරාමයක් ගැනීමට පියවර ගත්තේ මෙම තත්ත්වය තුළ යි.

ෂාරුක් මෙලෙස විරාමයක් ගත්තේ තමාගේ ඊළඟ සිනමාපට ගැන වඩාත් හොඳින් සැලසුම් කිරීම සඳහා බවක් ප්‍රකාශ විය. පතාන් සහ ජවාන් වැනි චිත්‍රපට මේ වනවිට ලබා ඇති සුවිසල් සාර්ථකත්වයෙන් සනාථ වන්නේ ෂාරුක්ගේ විවේක කාලය කිසිසේත් අපතේ ගොස් නැති බවයි.

‘ජවාන්’ චිත්‍රපටයේ ෂාරුක් චරිත දෙකක් රඟපෑම ද ඔහුගේ රසික රසිකාවියන්ට අපූරු අත්දැකීමක් වන්නට ඇත. එහි ඔහු වික්‍රම් රතෝර් සහ අසාද් රතෝර් යනුවෙන් පිය-පුතු චරිත දෙකක් නිරූපනය කරයි. මෙහි අසාද් යනු වික්‍රම්ගේ පුත්‍රයා යි. ෂාරුක්ගේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ස්වරූපයක් ද ‘ජවාන්’ හි ඇතැම් ජවනිකා තුළින් ප්‍රේක්‍ෂකයන්ට දැකගන්නට හැකි විය. එනම් ඔහු හිස මුඩු කර සිටින ආකාරය යි.

‘ජවාන්’ ගැන මේ දිනවල මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇති ආරංචියකින් පැවසෙන්නේ එහි දෙවැනි කොටසක් ද නිර්මාණය වන්නට බොහෝ දුරට ඉඩ ඇති බවයි. ‘ජවාන්’ අධ්‍යක්‍ෂ ඇට්ලි කුමාර් ද මේ ගැන යම් ඉඟියක් දී තිබෙනු දක්නට ලැබිණි.

“මා අධ්‍යක්‍ෂණය කරපු හැම චිත්‍රපටයකම වගේ අවසානය විවෘතව තියන්න මම උත්සාහ කළා. නමුත් ඒ එක චිත්‍රපටයකවත් දෙවැනි කොටසක් මා අතින් නිර්මාණය වුණේ නැහැ” එක්තරා වෙබ් අඩවියක් සමග පැවැති සාකච්ඡාවක දී ඇට්ලි සඳහන් කර තිබිණි “නමුත් යම් ප්‍රබල කතාවක් හිතට ආවොත් මා ‘ජවාන්’ හි දෙවැනි කොටසක් නිර්මාණය කරනවා. ජවාන් හි අවසානයත් බොහොම විවෘත එකක්. ඒ නිසා කොයි වෙලාවක හරි මට එහි දෙවැනි කොටසක් හදන්න පුලුවන්. ස්ථිර වශයෙන්ම මා එවැනි නිර්මාණයක් කරනවා.

“මේ චිත්‍රපටයේ වීරයා වන්නේ වික්‍රම් රතෝර්. වික්‍රම්ගේ චරිතය කේන්‍ද්‍ර කරගත් (Spin-Off) චිත්‍රපටයක් නිර්මාණය වෙන්න පුලුවන්. අපි බලමු” ඇට්ලි තවදුරටත් පවසා තිබිණි.

මේ අතර තවත් සමහර මාධ්‍ය වාර්තාවලින් පැවසුණේ දැනටමත් ‘ජවාන්’ හි දෙවැනි කොටසක තිරනාටකය ලිවීම සඳහා සූදානමක් ඇති බවයි.

නිහාල් පීරිස්

රසගඟුල