සතුන් ගෙන් අපට ලැබෙන උදව් වලට පුංචි නිදසුන් කිහිපයක්

මිනිසුන් සහ සතුන් අතර ඇති සබැඳියාවට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. මේ ඉතිහාසය මුළුල්ලේම සතුන්ගෙන් මිනිසුන්ටත්, මිනිසුන්ගෙන් සතුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් ලැබුණු උදව් උපකාර ඉමහත්ය. කෙසේ නමුත් මිනිසා විසින් සතුන්ට කරනු ලබන උදව් උපකාරවලට වඩා විශේෂයෙන් ඉස්මතු වන්නේ සතුන් විසින් මිනිසාට සිදු කරන උදව් උපකාරයන්ය. මන්ද අප බොහෝ විට සිතන්නේ සතුන් යනු බුද්ධිමත්බවින් අඩු, කිසිවක් සිතාමතා සිදු කළ නොහැකි පිරිසක් ලෙසිනි. නමුත් ඒ නිගමනය සහමුලින්ම වැරදි බව කාලයක් තිස්සේ සතුන්ගේ හැසිරීම් ඔස්සේ දකින්නට ලැබුණු සිදුවීම්වලින් මොනවට තහවුරු වී තිබේ.

විශේෂයෙන් මිනිසාට ඉතා හිතවත් සතකු වන සුනඛයන්ගෙන් ලැබෙන උදව් උපකාර අපමණය. විවිධ ආබාධිත තත්ත්වවල පසුවන මිනිසුන්ට පිහිට වීම සඳහා සුනඛයන් විශේෂයෙන් පුහුණු කිරීම නිතර දකින්නට ලැබෙන්නක් අතර එසේ පුහුණුවකින් තොරව වුව මිනිසුන්ගේ ජීවිත රැකගැනීම පිණිස අවශ්‍ය අවස්ථාවන්හිදී සුනඛයන් ඉදිරිපත් වූ සිදුවීම් අපි දැක ඇත්තෙමු. මේ අතරින් ඉතා සංවේදී සිදුවීමක් ලෙස හුවා දැක්විය හැකි, අන්තර්ජාලයේ සංසරණය වූ එක් ඡායාරූපයක් ගෙනහැර දැක්විය හැකිය. මහමග කසල ගොඩක දමාගොස් තිබුණු, උපන් විගස බිළිඳකු සිය මුවින් රැගෙන ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කරන සුනඛයකුගේ සිදුවීම මෑත කාලයේ හද කම්පා කරවන්නක් විය. මෙය එක් උදාහරණයක් පමණි.

මෙය අමතරව අනෙකුත් බොහෝ සතුන් මිනිසුන් වෙනුවෙන් පිහිටට පැමිණි අවස්ථාවන්ට ඕනෑ තරම් උදාහරණ තිබේ. විශේෂයෙන් මහ සාගරයේ අතරමංවූවන්ට පිහිට වන ඩොල්පින් මත්ස්‍යයන් පිළිබඳ නිදසුන් බොහෝය. එක් අවස්ථාවක දී නිවසක සුරතලයට ඇතිදැඩි කළ ඌරකු නිසා දිවි බේරා ගත් කාන්තාවක පිළිබඳ සිදුවීමක් අන්තර්ජාලයෙන් දැක ගත හැකි විය. එමෙන්ම මිනිසුන්ට වැළඳෙන මනෝව්‍යාධි සුවපත් කිරීම පිණිස විවිධ සතුන්ගෙන් පිහිට ලබා ගන්නා අවස්ථා බොහෝය. හෘද රෝගීන් සුවපත් කිරීම පිණිස සුරතල් සුනඛයන්, මත්ස්‍යයන් ඇතිදැඩි කරන්නට වෛද්‍ය උපදෙස් පවා ලබා දේ. දෑස් නොපෙනන මිනිසුන්ම මග පෙන්වීම පිණිස විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් යොදා ගන්නා බව අප කවුරුත් දන්නා කාරණයකි.

මේ නිසා අපට සතුන්ගෙන් ලැබෙන උදව් උපකාර කිසිසේත් ලඝුකොට තැකිය හැක්කක් නොවේ. මිනිසුන් ලෙස අප මේවා සිහි තබාගෙන සතුන් වෙනුවෙන් ආදරය, කරුණාව, දයාව දැක්විය යුතුව තිබේ. ඔවුන් අපෙන් බලාපොරොත්තු වන්නේ එය පමණි. මිනිසාගේ මනුෂ්‍යත්වය වන්නේ එය නිර්ලෝභීව ලබා දීමය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය