සමලිංගිකත්වය අපරාධයක් නොවේ – ෆ්‍රැන්සිස් පාප්වහන්සේගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මේ වනවිට පාප් පදවිය දරණ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සැලකෙන්නේ කතෝලික පල්ලියේ ඇතැම් සම්ප්‍රදායික අදහස් වෙනස් කිරීම සඳහා පෙරමුණ ගත් වඩාත් නිදහස් මත දරණ පාප්වහන්සේ කෙනෙකු ලෙසිනි. උන්වහන්සේ මෑත කාලයේ සමලිංගිකත්වය සම්බන්ධයෙන් කළ ඇතැම් ප්‍රකාශයන් ද විශාල අවධානයක් දිනාගැනීමට සමත් විය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිතර අවධාරණය කරන කාරණයක් වන්නේ සමලිංගිකත්වය යනු අපරාධයක් ලෙස නොසැලකිය යුතු බවයි. මෙය වතිකානය සාමාන්‍යයෙන් සමලිංගිකත්වය පිලිබඳ දරණ සම්ප්‍රදායික මතයට වඩා වෙනස් මතයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සමලිංගිකත්වය වැනි කාරණා ගැන වතිකානය සාමාන්‍යයෙන් දරන්නේ තරමක් දැඩි ආකල්පයන් යයි පැවසිය හැකිය. සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකීම ගෝලීය මට්ටමින් තුරන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවකට 2008 වසරේ වතිකානය විරෝධය දැක්වීය. ඒ වනවිට පාප් පදවිය දැරුවේ 16 වැනි බෙනඩික්ට් පාප්වහන්සේ යි. මෙවැනි යෝජනාවක් සම්මත වුවහොත් ලෝකයේ තව තවත් රටවල් සමලිංගික විවාහයන් පිලිගැනීමට යොමුවේවිය යන බියක් වතිකානය තුළ තිබූ බව පැවසිණි. 1978 සිට 2005 දක්වා පාප් පදවිය දැරූ 2 වැනි ජුවාන් පාවුළු පාප්වහන්සේ සමලිංගික විවාහයන්ට අවසර ලබා දෙන නීති හෙලා දැකීමට කටයුතු කළහ. උන්වහන්සේගේ තර්කය වූයේ මෙවැනි තත්ත්වයන් නිසා පවුල් සංස්ථාව බිඳ වැටීමට මග පෑදෙන බවයි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමලිංගිකත්වය අපරාධයක් ලෙස නොසැලකිය යුතුය යනුවෙන් අදහස් දක්වන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසන්නේ සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකීම අසාධාරණ බවයි. උන්වහන්සේ පාප් පදවියට පත් වූ කාලයේ සිටම මෙම සමරිසි කණ්ඩායම් සම්බන්ධයෙන් වඩාත් මෘදු ආකල්පයකින් කටයුතු කළ කෙනෙකි. ඔවුන්ට ද කතෝලික පල්ලිය තුළ ඉඩක් තිබිය යුතු බව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නිතර සඳහන් කළ කාරණයක් විය. ඔවුන් පල්ලියෙන් පිටමං නොකරන මෙන් ද උන්වහන්සේ නිතර කතෝලික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ මෙන්ම යේසුස් වහන්සේ ද සමලිංගික කතෝලිකයන්ට එක සේ දයාව ආදරය දක්වන බව ද උන්වහන්නේ නිතර පැවසූ කාරණයකි. සමලිංගිකයකු වූ පමණින් කිසිවකු ස්වර්ග රාජ්‍යයෙන් ආපසු හරවා යැවීමට යේසුස් වහන්සේ කටයුතු නොකරන බව ද ෆ්‍රැන්සිස් පාප්වහන්සේ එක් අවස්ථාවක සඳහන් කර තිබිණි. සමලිංගික දරුවන්ගේ මව්පියන්ට ද ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නිතර පැවසූ කතාවක් විය. එනම් ඔවුන්ගේ දරුවන්ගේ ලිංගික ස්වභාවය කුමක් වුවත් දෙවියන් වහන්සේ ඔවුන්ට ආදරය කරන බවයි.

2018 වසරේ එක් අවස්ථාවක පාප් වහන්සේ පැවසුවේ සමලිංගික පුද්ගලයන් යනු මානව ඉතිහාසයේ කවදත් ජීවත් වූ පිරිසක් බව ය. සමලිංගික දරුවන් සිටින මව්පියන් එම දරුවන් නිවෙස්වලින් පන්නා නොදැමිය යුතු බව ද, ඔවුන් කොන් කිරීමට ලක් නොකළ යුතු බව ද, පවුලේ ආදරය ඔවුන්ට ලබා දිය යුතු බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකීම හෙලා දකිමින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දක්වන අදහස් ඇංග්ලිකන් වැනි නිකායන්ගේ ඇතැම් ප්‍රධානීන් ද අනුමත කර තිබේ. පසුගිය දා චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය මෙහෙය වූ කැන්ටබරි හි අගරදගුරු වන ජස්ටින් වෙල්බි ද ඒ අතරින් කෙනෙකි.

සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකීම අසාධාරණ බව පැවසුවත් උන්වහන්සේ වතිකානයේ සමහර ස්ථාවරයන්ට පටහැනිව යන්නේ නැත. සමලිංගිකත්වය අපරාධයක් නොවුණත් එය පාපයක් ලෙස සැලකීමට උන්වහන්සේ ද කටයුතු කරති. මෙහි දී උන්වහන්සේ පවසන්නේ පාපයක් සහ අපරාධයක් අතර වෙනස තේරුම්ගත යුතු බවයි. සමලිංගිකයන් අතර විවාහයන් ද ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අනුමත කරන්නේ නැත. නමුත් සමලිංගික යුවළවල් සතු ඇතැම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් උන්වහන්සේ සිය එකගතාව පළ කර තිබේ.

මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරණ රටවල් අතරින් 66 ක් සමලිංගික සබඳතා අපරාධයක් ගණයේ ලා සලකයි. රටවල් 10 ක පමණ සමලිංගික සබඳතා මරණ දඬුවම නියම කළ හැකි අපරාධයකි. ‘මෙය නිවැරදි දෙයක් නොවෙයි. සමලිංගික නැමියාවන් ඇති අයත් දෙවියන් වහන්සේගේ දරුවන්. දෙවියන් වහන්සේ ඔවුන්ට ආදරය කරනවා. ඔවුන් සමග සිටිනවා. එවැනි පුද්ගලයන් මේ ආකාරයෙන් හෙලා දැකීම පාපයක්’ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසා තිබේ.

පාප්වහන්සේගේ මෙම අදහස්වලට ඇතැම් සම්ප්‍රදායික කතෝලිකයන් එකගතාවක් දක්වන්නේ නැත. ලිංගික සදාචාරය ගැන අපැහැදිලි ප්‍රකාශයන් කිරීම ගැන ඔවුහු පාප්වහන්සේ විවේචනයට ලක් කරති.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර