සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් අප්‍රිකා මහාද්වීපයේ දකුණු කොණේ සිට උතුරු කොණට දුවපු රසල්

රසල් කුක් පසුගිය දිනවල මාධ්‍ය තුළ තරුවක් බවට පත්ව සිටි කෙනෙක්. එයට හේතු වූයේ ඔහු විසින් කරන ලද අපූරු දස්කමක්. රසල් කළ දස්කම නම් අප්‍රිකා මහාද්වීපයේ දකුණු කොණේ සිට එහි උතුරු කොණ දක්වා දුවමින් වාර්තාවක් පිහිටුවීම යි. මෙහි දී රසල් රටවල් 16 ක් හරහා ධාවනයේ යෙදුණු අතර කි.මී. 16,000 ක දුරක් ඔහු ආවරණය කර ඇති බව පැවසෙනවා. ඒ සඳහා ඔහුට දින 352 ක් ගතව තිබුණා. අතරින් පතර දින කිහිපයක හැර අනෙක් සෑම දිනකම ඔහු මැරතන් තරගයක දුර ප්‍රමාණයට සමාන දුරක් ධාවනයේ යෙදී තිබූ බව පැවසෙනවා. අප්‍රිකානු මහාද්වීපය ඔස්සේ දුවමින් මෙම දස්කම කළ පළමු වැනියා ඔහු බවයි විශ්වාස කෙරෙන්නේ. 27 වැනි වියෙහි පසුවන රසල් බි්‍රතාන්‍ය ජාතිකයෙක්.

රසල් ගේ දිවිල්ල නිකම්ම දිවිල්ලක් නෙවෙයි. ඔහු මෙම කටයුත්ත කර තිබුණේ උදාර අරමුණක් වෙනුවෙනුයි. මෙම ධාවනය තුළින් ඔහු සමාජ සේවා ආයතන දෙකක් වෙනුවෙන් අරමුදල් එකතු කිරීමට පියවර ගෙන තිබුණා. ඉන් එක් ආයතනයක් නිවාස නැති තරුණයන් වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් වන අතර අනෙක අප්‍රිකාවේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් සේවය කරන ආයතනයක්. මෙම ආයතන වෙනුවෙන් රසල් ස්ටර්ලිං පවුම් 700,000 ක මුදලක් එකතු කිරීමට සමත්ව තිබෙනවා. එය ලංකා රුපියල් කෝටි 26 කට ආසන්න මුදලක්.

අප්‍රිකාවේ දකුණු කොණේ පිහිටි අගුල්හා තුඩුවෙන් ඔහු සිය ධාවනය ආරම්භ කර තිබුණේ 2023 අප්‍රේල් 22 වැනි දින යි. අප්‍රිකාවේ ඉහළ කෙළවර පිහිටි ටියුනිසියාවේ උතුරු කොණෙන් රසල් ධාවනය අවසන් කළේ පසුගිය ඉරිදා (07) යි. අවසන් දිනයේ ඔහු සමග ධාවනයට එක් වීමට රටවල් රැසක සුබ පතන්නන් පැමිණ සිටි අයුරුත්, ඔවුන් ඔහු සමග ධාවනයේ නිරත වන අයුරුත් දකින්න ලැබුණා. එමෙන්ම රසල් ධාවනය අවසන් කළ ස්ථානයේ ද විශාල පිරිසක් රැස්ව සිටි අතර ඔවුන් ඔල්වරසන් දෙමින් ඔහු පිලිගන්නා අයුරු ද දැකිය හැකි වුණා.

රටවල් ගණනාවක් හරහා ආ මෙම ගමනේ දී මහා වනාන්තර, කාන්තාර, යුද ගැටුම් ඇති ප්‍රදේශ ආදිය පසු කර එන්නට රසල්ට සිදු වුණා. දින 240 කින් ධාවනය අවසන් කිරීමටයි රසල් කලින් සැලසුම් කර තිබී ඇත්තේ. නමුත් ප්‍රශ්න කිහිපයක් නිසා ඔහුට එම ඉලක්කය ජයගන්නට නොහැකි වී තිබුණා. ඇන්ගෝලාවේ දී ගිනි අවි ගත් කණ්ඩායමක් රසල්ලාගේ කැමරා වැනි උපකරණ, මුදල් සහ තවත් ලිය කියවිලි වාගයක් කොල්ල කා තිබූ බව සඳහන්.

තවත් අවස්ථාවක සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසාත් ඔහුට දින කිහිපයක් විවේක ගන්නට සිදු වූ බව පැවසෙනවා. ඒ නයිජීරියාවේදී යි. දිනපතා මැරතන් ධාවනයකට වැඩි දුරක් දිවීම සෙල්ලමක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම වෙහෙස ඔහුගේ සෞඛ්‍යයට බලපෑමක් එල්ල කර තිබුණා. මුලින්ම ඇති වී තිබුණේ උදරයේ සුළු අමාරුවක්. නමුත් වෛද්‍ය පරීක්‍ෂණයක දී හෙලි වී තිබුණේ ඔහුගේ මුත්‍රාවල ලේ සහ ප්‍රෝටීන් ඇති බව යි.

මෙම තත්ත්වය සුව වුවත්, පසුව තුනටියේ දරුණු වේදනාවකින් ද ඔහු පීඩා විඳින්නට පටන් ගෙන තිබුණා. එහිදී වෛද්‍යවරුන් ස්කෑන් පරීක්‍ෂාවන් කිහිපයක් කර තිබූ අතර වාසනාවට මෙන් රසල්ගේ කොඳු ඇට පෙළට කිසිදු හානියක් සිදුව තිබුණේ නැහැ. වේදනා නාශක ගනිමින් ඔහු නැවතත් සිය ධාවනය ආරම්භ කර තිබුණා.

ඇල්ජිරියාවේ දී වීසා ප්‍රශ්නයක් මතු වීම නිසාත් රසල්ගේ ධාවනයට බාධා එල්ල වූ බව පැවසෙනවා. එහි දී ඔහුට ඇල්ජීරියාවට ඇතුල් වීමට වීසා නොලැබුණා නම් ඔහු එතෙක් ආ ගමන සම්පූර්ණයෙන් අපතේ යාමට ඉඩ තිබුණා.

“යම් හෙයකින් මට වීසා නොලැබුණොත් මේ කටයුත්ත මෙතැනින් නතර වෙනවා” යයි රසල් එම අවස්ථාවේ පවසා තිබුණා. ඒ වෙලාවේ ඔහු සිය X (කලින් ට්විටර්)
පිටුවේ පළ කර තිබූ විඩියෝවක් අති විශාල පිරිසකගේ අවධානයට ලක්ව තිබු බව පැවසෙනවා. X සමාජ මාධ්‍ය අඩවියේ වත්මන් අයිතිකාරයා වන ඊලෝන් මස්ක් පවා එය දැක තිබූ බව සඳහන්. එමෙන්ම බි්‍රතාන්‍යයේ මැති ඇමතිවරුන් ද එය දැක තිබූ අතර ඊට ලැබුණු මෙම අවධානය නිසා අවසානයේ වීසා ප්‍රශ්නය විසඳී තිබුණා.

ගිනි ගෙන දැවෙන සහරා කාන්තාරය හරහා දිවීමත් රසල් මුහුණ දී තිබූ තවත් අභියෝගයක්. එහි දී ඔහු ධාවනයේ යෙදී තිබුණේ රාත්‍රි කාලයේ බව සඳහන් වෙනවා.

“මෙය වචනයෙන් විස්තර කිරීමට අපහසු තරම් දුෂ්කර යි. දවස් 352 ක් පවුලේ අයගෙන් සහ මගේ පෙම්වතියගෙන් ඈත්ව සිටින්නට සිදුවීමත් හරිම අමාරුයි” අවසන් දිනයේ ධාවනය ආරම්භ කිරීමට පෙර රසල් එසේ පවසා තිබුණා.

කෙසේ හෝ වේවා, ධාවනය අවසන් කිරීමෙන් පසු ඉතා උත්කර්ෂවත් අයුරින් සාදයක් පැවැත්වීමට ඔහු ඇතුළු කණ්ඩායම පියවර ගෙන තිබුණා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර