සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

latest gossips

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් පින්වත් යන අභිධානයෙන් කිසිවකු හඳුන්වා ඇති බවක් අප නම් නොදන්නා බවකි.බුදු දහමට අනුව පින හුදෙක් සාංසාරික තත්වයක් බවත් එය වෙනත් ශාස්තෲ දේශනා වල ද එපරිද්දෙන්ම සඳහන් වන්නක් බවත් අපි ඒ සෑම විටෙකම පවසා ඇත්තෙමු.ඒ අනුව බෞද්ධ ආර්ය මාර්ගය තුළ අලෝභය අද්වේෂය සහ අමෝහය පදනම් කර ගත් කුසලයට පමණක් වැදගත් තැනක් හිමි කර දීම මත බුදුන් වහන්සේ භික්ෂූන් හෝ ගිහියන් “පින්වත්” යන ආමන්ත්‍රණයෙන් හැඳින්වීම බුදු දහමට අනුරූප නොවන්නක් බව ද අපි කියා ඇත්තෙමු.එවිට අපට ඒ සාමනේර හිමි වරුන් ගෙන් හා ගිහි සිසු දරු දැරියන් ගෙන් දැන ගැනීමට හැකි වූයේ දැනට අන්තර් ජාලයට ඇතුලත් කොට ඇති ත්‍රිපිටක සිංහල පරිවර්තන සමහරකට අනුව බුදුන් වහන්සේ “පින්වත් මහණෙනි,පින්වත් ආනන්ද,පින්වත් විශාඛා” ආදී වශයෙන් පින්වත් නාමය පෙරටු කොට යම් යම් අය ආමන්ත්‍රණය කොට ඇති බවක් සඳහන් වන බවකි.එමෙන්ම එම ත්‍රිපිටක පරිවර්තන මේ වන විට ජනප්‍රිය පරිභෝජනවාදී බුදු සමය සම්බන්ධයෙන් ප්‍රකට භික්ෂුවක විසින් අන්තර් ජාලයට මුදා හරින ලද ඒවා බවත් අපට දැනගත හැකි විය.එසේම ඒ හික්ෂුව විසින් බෞද්ධ මූල සම්ප්‍රදායෙන් බැහැර එවැනි තවත් බොහෝ දේ සමාජ ගත කරන බවත් ඒ හික්ෂුව එසේ හඳුන්වා දී ඇති නව උප සංස්කෘතිය තුළ තමන් සේම එහි වැඩ සිටින සෙසු භික්ෂූන් ද “පින්වත් ස්වාමීන් වහන්සේ” යන නාමයෙන් හඳුන්වා ගනිමින් ප්‍රචාරාත්මක වැඩසටහන් දියත් කරන බවත් අපට දැන ගන්නට ලැබිණ.

යමක නවතාවය ජනතා ආකර්ශනය ඇති කරවීමට ඉවහල් වන්නකි.එහෙත්, එලෙස බෞද්ධ ධර්ම විනය සම්ප්‍රදායන්ට නවතාවයන් ආරෝපණය කළ හැකි නොවේ.නමුදු කූට වානිජවාදී අරමුණු උදෙසා වුව එසේ කරන විට දහම් දැනුම මඳ ජනතාව ඒ නැවුම් බව කෙරෙහි ආශක්ත වී මේ නැවුම් බව නිර්මල බුදු දහම විය හැකිය යන අන්ධ විශ්වාසය මත ඒ නව මතය පතුරුවන්නා වටා රොද බැඳ ගනිති.කාටත් වැටහෙන ලෙසින් කිවහොත් බුදුන් ගේ අත්සන හොරට ගැසීමක් බඳු මෙම සංසිද්ධිය පිළිබඳ කදිම බුද්ධ දේශනාවක් සංයුක්ත නිකායට අයත් කස්සප සංයුක්තයේ එන සද්ධම්ම පතිරූපක සූත්‍ර දේශනාවේ සඳහන් ය.

බුදුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයෙක දිනක් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ බුදුන් හමුවට පැමිණ මෙසේ අසා සිටියහ.”ස්වාමීනී; පෙර කාලයේ ශාසනයෙහි ශික්ෂාපද පනවා තිබුණේ ඉතා අඩුවෙනි. එහෙත්,ඒ සමයේ බොහෝ භික්ෂූන් වහන්සේ රහත් ඵලයට පත් වූහ. නමුදු දැන් බොහෝ ශික්ෂා පද පනවා තිබේ. එහෙත්, රහත් බව ලබන භික්ෂු පිරිස ඉතා අඩු ය. එයට හේතුව කුමක්දැයි පහදා දිය හැකිද?”ඊට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ මෙසේ වදාළහ.“කාශ්‍යපය, මෙය මෙසේ ම සිදුවන්නේ ය. සත්වයන් පිරිහෙමින් දහම නැතිවන කාලයට ශික්ෂා පද ද වැඩි වනු ඇත. එසේ වුවද රහත් බව ලබන්නෝ ඉතා සුළු භික්ෂූන් පිරිසකි.ලෝකයේ දහම හා සමාන ලෙස පෙනෙන වෙනත් මත පතුරුවන සද්ධර්ම ප්‍රතිරූපකයන් පහළ වන කල්හි සැබෑ දහම යට යනු ඇත. එලෙස සද්ධර්ම ප්‍රතිරූපක පහළ නොවන තාක් කල් සැබෑ දහම යට නොගොස් හොඳින් පවතී.” එසේ පවසන බුදුන් වහන්සේ ඒ තත්වය වඩාත් විස්තර කරනු වස් මතු දැක්වෙන උපමා කතාව ද ගෙන හැර දක්වති.

“කාශ්‍යපය,රත්‍රන් ලොව පවතින්නේ එයට සමාන වෙනත් දෙයක් ලොව පහළ වන තෙක් ය. රත්‍රන් හා සම අන් යමක් නිර්මාණය වූ විට රත්‍රන්වල වටිනාකම නිරායාසයෙන් අඩුවෙයි. අප්‍රකට ද වේ.සැබෑ දහම ද එසේ ම ය. මතුපිටින් සැබෑ දහමට සමාන අදහස් දහම් හෙවත් සද්ධර්ම ප්‍රතිරූප ඇති වූ විට සත්‍ය වූ දහම යටයනු ඇත.කාශ්‍යපය,මේ දහම විනාශ කරන්නේ පඨවි, ආපෝ ,තේජෝ, වායෝ ආදී ධාතූන් නොවේ.මේ දහම විනාශ කරන්නේ මේ සසුන තුළ ම බිහිවන හිස් මිනිසුන්( මෝඝ පුරිස ) විසින් ම ය.එවිට ජලජ යාත්‍රාවකට වැඩි වැඩියෙන් බර පැටවූ විට ඒ යාත්‍රාව ගිලෙන්නා සේ මේ ශාසනය නැති වී යයි.කාශ්‍යපය, මෙසේ ශාසනයේ පිරිහීම ඇති කරන කරුණු පහක් තිබේ. ඒ කරුණු පහ මෙලෙසිනි.
මේ සාසනයේ යම් භික්ෂුවක් ,භික්ෂුණියක්, උපාසකයකු හෝ උපාසිකාවක් භාග්‍යවතුන් වහන්සේට ගෞරව නොකරන්නේ ද, නම්‍යශීලි පැවතුම් නැත්තේ ද, ධර්මයට ගෞරව නොකරන්නේ ද, නම්‍යශීලි පැවතුම් නැත්තේ ද, (ධර්ම විනයානුකූල )සංඝ මතයට ගෞරව නොකරන්නේ ද, නම්‍යශීලි පැවතුම් නැත්තේ ද, ශික්ෂා පද හා සමාධියට ගෞරවය නොකරන්නේ ද, නම්‍යශීලි පැවතුම් නැත්තේ ද, එලෙස මේ පස් කාරණාවන් ඇති වූ කල ශාසනය පිරිහී යනු ඇත. යම් භික්ෂුවක්, භික්ෂුණියක් ,උපාසකයකු හෝ උපාසිකාවක් ද තථාගතයන් වහන්සේට, ධර්මයට, සංඝයාට ,ශික්ෂාපදයන්ට, සමාධියට ගෞරව කරයි ද, ඇවතුම් පැවතුම් මඟින් නම්‍යශීලි බව දක්වයි ද එය ශාසනයේ දියුණුව, යහපත සඳහා ම හේතු වනු ඇත.ඒ අනුව යම් දිනෙක ලොව රත්‍රරන් වැනි වූ එනමුත් රත්‍රරන් නොවූ, ලාබ දායක යම් යම් ප්‍රතිරූපක බිහි වේ ද, එකල්හි මිනිස්සු රත්‍රරන් පරිභෝග කිරීම අඩු කර අඩු මිලට ගත හැකි ප්‍රතිරූප භාවිතය අරඹති. එසේ එම අනුකාරක වර්ග ප්‍රවර්ධණය වී ක්‍රම ක්‍රමයෙන් ලෝකයේ රත්‍රරන් අතුරුදහන් වේ”.

අප විසින් කරන ලද හැදෑරීම් අනුව ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව තමන් ගේ ආවේණික ධර්ම විනය මත පදනම් වන ආර්ය මාර්ගයෙන් පිට පැනීම භික්ෂූන් ගේ දේශපාලන ආගමනය නිසා ද ඇති වූවකි. දිගු ඉතිහාසයක් ඇති මෙම සංසිද්ධිය උදෙසා වල්පොල රාහුල හිමියන් විසින් රචනා කරනු ලදුව 1946 එළි දැක්වූ හික්ෂුවක ගේ උරුමය ඩී එස් සේනානායකයන් සමඟ ඇති කර ගත් දේශපාලන ගැටුමක් මත පදනම් ව ලියැවුණු “භික්ෂුවකගේ උරුමය” නම් ඓතිහාසික විවරණය සහිත ග්‍රන්ථය ද ඒ සඳහා මෑත කාලීන ප්‍රබල සාධකයක් වූ බව පෙනෙයි. එහි එන ඇතැම් කරුණු බෞද්ධ ධර්ම විනයට එරෙහි වීම් ද දක්නට තිබේ.එම පසුබිම යටතේ 1946 වසරේ එළි දැක්වුණු විද්‍යාලංකාර ප්‍රකාශනය නම් සංඝ ආඥාව ද මූලික බුදු සමයට ඉඳුරාම පටහැනි ය. නමුත් යක්කඩුවේ ප්‍රඥාරාම වැනි වියත් හිමි වරුන් ද ශාසනික නොවන බාහිර අරමුණු තකා එම මතය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි අතර 1950 දශකය තුළ එ.ජා.ප.යේ පසුබෑමත් ශ්‍රී.ල.නි.ප.යේ බිහිවීමත් එහි සමාජමය ප්‍රතිඵලය විය.එමෙන්ම 1956 වසරේ බලයට පත් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයන් මෙරට දී සංඝාධිපත්‍යය යන සුමට නමකින් හැඳින්වූ පූජක වාදයට(Clericalism )නතු කර ගැනීමට කැලණි විහාරය ගෙන ගිය ප්‍රයත්නය සාර්ථක වූයේ නැත.ඒ බණ්ඩාරනායකයන් ශ්‍රී ලාංකේය භික්ෂු ආධිපත්‍යට එකඟ නොවීම නිසා ය.එහි අවසානය වූයේ ඒ වන විට මෙරට අග්‍රාමාත්‍ය පදවිය හිමි කරගෙන සිටි එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයන් කැලණි විහාරය හා සම්බන්ධතාවයක් තිබූ භික්ෂු චීවරයක් තුළින් මතු වූ රිවෝල්වරයකින් ඝාතනයට ලක් වීමය.

නමුදු එදා මෙදා තුර භික්ෂූන්ට උරුම ශ්‍රමණ සම්ප්‍රදායන් ගෙන් අත් මිදුණු මෙම විපරීත පූජක සම්ප්‍රදාය මත ශ්‍රී ලාංකේය භික්ෂු බහුතරය මේ වන විට විවෘත සමාජය හමුවේ අනේක විධ ආටක නාටක රඟ දක්වමින් සිටිති.ඔවුන් පවසනුයේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා තමන් මෙසේ සටන් වදින බව ය.එහෙත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ආරක්ෂා කර ගත හැක්කේ මහණ දම් පිරීමෙන් මිස වීදි සටන් කිරීමෙන් නොවන බව මේ වන විට බුද්ධිමත් ගිහි ජනතාව ද හොඳින් අවබෝධ කරගෙන සිටිති.ඒ අනුව අද භික්ෂුනට වඩා සිල්වත් ගුණවත් ගිහියන් සිටින බවට පවතින මතවාදය ශීඝ්‍රයෙන් සමාජ ගත වෙමින් තිබේ.එය මීට දශක කිහිපයකට පෙර කල එළි දුටු විනයවර්ධන වැනි ගිහි කණ්ඩායම් වල බලය ව්‍යාප්ත වීමට මනා තෝතැන්නකි.

අප රටේ භික්ෂු සමාජය තුළ පවතින මෙම ශීඝ්‍ර පරිහානිය ඉතා නිවැරදිව දුටු බෞද්ධ ධර්ම විනය පිළිබඳ ප්‍රාමාණික පඬි රුවනක් වූ මහාචාර්ය ඩබ්ලිව්.එස් කරුණාරත්න සූරීන් එක්දස් නවසිය හැටේ දශකයේ විද්‍යාලංකාර භික්ෂූන් අමතා කී “ඔබ වහන්සේලා ඉක්මනට ඔය ගමන් මඟ වෙනස් කර ගන්න. නැත්නම් කවදා හරි ඔබ වහන්සේලාට හිහියන් ගෙන් පන්සිල් සමාදන් වෙන්න වෙයි” යන අනතුරු ඇඟවීම අද වන විට සත්‍යයේ එළිපත්ත මතටම නැඟ තිබේ.

මෙම අන්තරායකාරී තත්වය හමුවේ භික්ෂුන් සම්බන්ධයෙන් විනය හා ශාසන විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතක් කඩිනමින් සම්මත කර ගැනීමට රජය කටයුතු කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. ඒ අනුව මෙම භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද දැනගන්නට ඇත.මෙහි අවසන් පනත් කෙටුම්පත නාහිමිවරුන්ගේ නිරීක්ෂණ සඳහා ලබා දී ඇති අතර නාහිමිවරුන්ගේ අදහස් හා යෝජනා ලැබීමෙන් පසු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යංශවරයා කටයුතු යොදා ඇති බව ද දැනගන්නට තිබේ.එහෙත්, මෙම කටයුත්තට ද එරෙහි වන යම් යම් භික්ෂු කණ්ඩායම් සහ කල්ලි තමන් “මහා සංඝරත්නය” වශයෙන් හඳුන්වා ගනිමින් තවත් සමාජ කලබැගෑනියක් සිදු කිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව ද ඇතැමෙක් කතා කරති.නමුදු ඒ සම්බන්ධයෙන් ද අවසන් වශයෙන් කිව යුත්තක් තිබේ.එනම් ධර්ම විනය ප්‍රඥප්තීන්ට අනුරූප නොවන හා ඒවා උල්ලංඝනය වන කටයුතු වල යෙදෙන කවර හෝ භික්ෂු පිරිසකට තමන් මහා සංඝරත්නය ලෙස හඳුන්වා ගැනීමේ කිසිදු ශාසනික අවසරයක් නොමැති බවකි. ඒ අනුව ඔවුන් ශාසනික නමින් ඉදිරිපත් කරන ඒ හොර නෝට්ටු වලට නොරැවටෙන ලෙස අපි බුද්ධිමත් ගිහි සමාජයෙන් ඉල්ලා සිටිමු.

කදුරුපොකුණේ සුමංගල හිමි

 

latest gossips

පහන් ටැඹ