සිනමා කැමරා කාචයට හුරු දෙනෙතින් ඉනෝකා ලියූ (අ)කාලයේ කවි

දේශපාලනික ද්‍රශ්‍යාබාධ වලින් තොරව බලන සැමටම මේ කාලයේ රට පුරා පැතිර පවතින සමාජමය අඳුර දැක ගන්න පුළුවන්.ඒ දැක්ම කවි සිත් තුළ විවිධාකාරයෙන් සටහන් වීමේ අරුමයක් නැහැ.ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශ්‍රී ලාංකේය සිනමාවේදිනියක්.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිනියක් වූ ඉනෝකා 2002 දී ගබ්සාව තේමා කරගත් ඇගේ මංගල උත්සාහය “සුළං කිරිල්ලී” සිනමා කෘතිය ශ්‍රී ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ වැඩිම විචාරක අවධානයක් හිමි කර ගත් අතර එක් චිත්‍රපටයක් දිනාගත් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමටත් “සුළං කිරිල්ලී”සමත් වුණා.

ඒ වගේම නවීන සමාජමය දැක්මක් සහිත නූතනයේ පුරෝගාමී කාන්තා චරිතයක් සේම සත්ව හිමිකම් ක්‍රියා කාරිනියක වන ඉනෝකා තම සිනමා කැමරා කාචයට හුරු දෙනෙතින් වත්මන් සමාජමය අඳුර කවි බසට නංවා ඇති අන්දමයි මේ:

අළුත් අවුරුද්දක
අළුත් ඉරක්‌ නොදැකම
අඳුර ගලනවා,
විඩාපත් මිනිස් කැල
පෙර පුරුදු ලෙසටම
පෝලිමේ ,අරගල බිමේ,
සුනරුත් දෑසින්
විලම්බීතව
ඉන්නවා බලාගෙන.
එම්බා
පාලකයිනි මිසදුටු,
කෙලෙසක නුඹලා
අළුත් ඉරක් පායන්නට
ඉඩ අවුරා
ගුවන අරා
පොළොව බදා
මේ ලෙස,
මුරකාවල් ලාගෙන ?
වෙඩි හඬට පෙර
කුරුළු ගී අහන්නට,
සාප -වස්කවි වෙනුවට
නගන්නට ජයගොස
අළුත් ඉරක්‌ යට
විඳින්නට මල් සුවඳ
දැන්වත් අපිට
ඉතින් දී අවසර,
රාස්සිගේ අව්වත් සමග
සැඟවීයන් ගිරගින් අවර !

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

wall එක