සිරුරේ පළඳින වීඩියෝ කැමරා ගැන දැන ගනිමු

වැඩිපුර සෙනග නො ගැවසෙන ස්ථානයක එක්තරා තරුණයකු ඇතුළු කිහිප දෙනෙක් යම් නීති විරෝධී කටයුත්තක නිරතව සිටින්නේ දැයි පරීක්ෂා කරන්නට එක්තරා පොලිස් නිලධාරියෙකු කටයුතු කරන අතර ඒ අවස්ථාවේ දී සිදු වූ කතා බහ දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස එකී තරුණයා පිහියක් ගෙන පොලිස් නිලධාරියාට පහර දෙන්නට ඉදිරියට පනියි. පොලිස් නිලධාරියා පවසන්නේ වහාම පිහිය බිම දමන ලෙසය. නමුත් අනෙකුත් තරුණයින් ඔහුව පොලඹවන්නේ පිහියෙන් ඇන පොලිස් නිලධාරියාව මරා දමන ලෙසය. අවසානයේ ඔහු ඒ අභිප්‍රායෙන් පොලිස් නිලධාරියාට පිහියෙන් අනින අතර පොලිස් නිලධාරියා එම පිහි පහරට ලක් වෙයි. පොලිස් නිලධාරියාට ඒ අවස්ථාවේ දී සිය ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි ව තිබූ එකම විකල්පය වන්නේ වෙඩි තැබීම පමණක් වූ අතර එය සිදු වෙයි. සෙසු තරුණයන් පළා යන අතර මේ සම්බන්ධව පොලිස් පැමිණිල්ලක් සිදු කරයි. මේ සම්බන්ධව පැවැත්වෙන නඩු විභාගයේ දී මියගිය තරුණයා වෙනුවෙන් සාක්ෂි බොහොමයක් ඉදිරිපත් වන අතර පොලිස් නිලධාරියා වෙනුවෙන් ඔහු හැරුණු විට වෙනත් කිසිවකු නොමැති වෙයි. කෙසේ නමුත් අවසානයේ පොලිස් නිලධාරියා නිවැරදිකරු ලෙස අධිකරණ තීන්දුවක් ලබාදෙයි. අධිකරණය විසින් එවැනි තීරණයකට එළඹෙන්නට හේතු වූ එකම තීරණය වූයේ පොලිස් නිලධාරියා සිරුරේ පැළැඳගෙන සිටි කැමරාවය. එහි මේ සියල්ල වාර්තාගත වී තිබුණු අතර ඒ අනුව පොලිස් නිලධාරියා නිර්දෝෂ යැයි තීරණය කරයි.

මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එක්තරා ප්‍රාන්තයකින් වාර්තා වූ සිදුවීමක් වූ අතර සිරුරේ කැමරාවක් පැළැඳගෙන සිටීමේ වැදගත්කම පෙන්වා දෙන්නට මෙය කදිම නිදසුනක් ලෙස ඉදිරිපත් විය.

සිරුරේ පළඳින කැමරා, එසේත් නැත්නම් ‘බොඩි කැම්’ (Body Cam) මේ වන විට ලෝකයේ බොහෝ රටවල පොලිස් නිලධාරීන් විසින් භාවිත කෙරේ. කැමරාව ක්‍රියාත්මක නොවන සෑම අවස්ථාවක දීම තත්පර 60 බැගින් මෙයින් නැවත නැවත වීඩියෝ ගත වන අතර ඒවා එහි ගබඩා වන්නේ නැත. පොලිස් නිලධාරියා කැමරාව ක්‍රියාත්මක කළ හොත් එකී තත්පර 60 ද ඇතුළුව ඉන් ඉදිරියට ඇති සියල්ල ශ්‍රව්‍ය හා දාශ්‍ය වශයෙන් පටිගත කෙරී එහි ඇති මතකය තුළ ගබඩා කෙරේ. තමා යම් කිසි පරීක්ෂාවකට සූදානම් වන සෑම විටක ම කැමරාව ක්‍රියාත්මක කරන්නැයි පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. එවිට යම් සිදුවීමක් සම්බන්ධව නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබෙන අතර එය ලෝකයේ බොහෝ රටවල අධිකරණ විසින් ස්වාධීන සාක්ෂියක් ලෙස සලකා ක්‍රියා කරයි.

‘බොඩි කැම්’ සාමාන්‍යයෙන් භාවිත කළ හැක්කේ පොලිස් නිලධාරීන්, නිල ආරක්ෂකයන් ආදී පුද්ගලයන්ට පමණි. ඔවුන්ට කැමති අවස්ථාවක මෙය ක්‍රියාත්මක කර යම් දර්ශනයක් රූප ගත කළ හැකි අතර අනෙක් පාර්ශ්වයට එයට එරෙහි වන්නට නීතිමය වශයෙන් ඉඩක් නැත. එසේ වුවත් මේ කැමරා සාමාන්‍ය පුද්ගලයන්ට භාවිත කිරීමේ නීතිමය බාධාවක් නැත. නමුත් ගැටලුව වන්නේ අනෙක් පාර්ශ්වයේ කැමැත්ත නොමැතිව සාමාන්‍ය පුද්ගලයකුට මෙයින් කිසිවක් පටිගත කිරීමේ අවස්ථාව නීතිය මගින් සලසා දී නොමැතිකමය. කෙසේ නමුත් යම්කිසි සාමාන්‍ය පුද්ගලයකු බොඩි කැම් එකක් පළඳා සිටින විට කුමක් හෝ හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් ඔහුට මේ කැමරාව ක්‍රියාතමක කොට සියල්ල පටි ගත කළ හැකිය. එහි ඇති නීතිමය තත්ත්වය අවස්ථාව අනුව තීරණය කොට අධිකරණය මගින් තීන්දු ගැනීම බොහෝ රටවල සිදු කරයි. නමුත් සාමාන්‍ය කතාබහක් පටිගත කරන්නට නම් සාමාන්‍ය පුද්ගලයකුට නීතියෙන් අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ සඳහා ඔහුට අනෙක් පාර්ශ්වයේ අවසරය ලැබිය යුතු අතර ඒ බව ද වීඩියෝව තුළ පටිගත වී තිබිය යුතු ය.

මේ කැමරා රුපියල් 25,000 සිට මිල දී ගත හැකිය. මිල අඩුම කැමරාවකින් අදාළ සිදුවීම දිනය සහ වෙලාව සහිතව පටිගත වේ. ඇතැම් කැමරා GPS තාක්ෂණයෙන් යුක්ත වන අතර චන්ද්‍රිකා අනුසාරයෙන් එය සිදු වූ ස්ථානය ඛණ්ඩාංක සහිතව පටිගත වේ. එවිට එය සිදු වූයේ කොතැනකද යන්න නිවැරදිවම දැන ගත හැකිය. ඇතැම් කැමරාවලින් ඒ අවස්ථාවේ දීම යම්කිසි සමාජ මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කිරීමේ හැකියාව තිබේ. මේ පහසුකම්වලට අනුව මිල ගණන් වෙනස් වේ.

බොඩි කැම් යන නිර්වචනයට අයත් නොවුන ද වාහනයක සවි කොට ඇති ‘ඩෑෂ් කැම්’ (Dash Cam) උපාංගය ද ක්‍රියාකාරීත්වය අනුව ‘බොඩි කැම්’ උපාංගයකට සෑම අතින් ම සමාන අතර එයින් පටිගත කිරීම සඳහා කිසිවකුගේ අවසරයක් අවශ්‍ය නොවේ. සිය වාහනය ඉදිරියෙන් සිදු වන සියලු දෙයක්ම එහි පටිගත වන අතර අනතුරක්, මහා මාර්ග නීතිය කඩවීමක් හෝ වෙනත් හෝ කුමක් හෝ සිදුවීමකින් පත් විය හැකි අගතියෙන් ගැලවී සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට වාහන හිමියාට එයින් ඉඩ සැලසේ. නමුත් ඒ තමා නිවැරදි නම් පමණි. වාහන හිමියා යම් වැරදි දෙයක් කළේ නම්, එය ඔහුගේ අවාසියට හේතු වේ.

මේ පැවසූ කැමරා වර්ග දෙක හැරුණු විට රහසිගත කැමරා යනුවෙන් දෙයක් ද සමාජයේ භාවිත වේ. මේවා අලි එක්සප්‍රස්, ඊබේ වැනි මාර්ග ගත සාප්පුවලින් පහසුවෙන් අඩු මුදලකට මිල දී ගත හැකිය. ඒවා උපැස් යුවළක්, පෑනක්, ඔරලෝසුවක්, කමිස හෝ කබායක බොත්තමක් වැනි ඕනෑම ස්වභාවයකින් මිල දී ගත හැකිය. මේවායේ රූප රාමු සාමාන්‍ය විභේදනයකින් යුක්ත වන අතර වටිනාකමින් වැඩි ඒවා ඉහළ විභේදනයකින් යුක්ත රූප රාමු ලබා දෙයි. යම්කිසි දෙයක් රහසේ පටිගත කිරීම සඳහා මේවා භාවිත කෙරෙන අතර ඒවා ද සිරුරේ පැළැඳගෙන යයි. අනෙක් පාර්ශ්වයේ අවසරයකින් තොරව මෙයින් ද කිසිවක් පටිගත කළ නො හැකි නමුත් බොහෝ දෙනෙක් එය සිදු කරති. අවසානයේ සමාජ මාධ්‍යවලට ද මුදා හරිති.

මීටත් අමතරව යතුරු පැදිකරුවන් සිය හෙල්මටය මත ද කැමරාවක් සවි කර ගෙන ගමන් කරනු ඇතැම් විට ඔබ දැක තිබෙනවා විය හැකිය. මෙය ද සිරුරේ පළඳින කැමරාවක් ලෙස ඇතැම් අවස්ථාවක දී අර්ථ ගැන්විය හැකි අතර එවැනි කටයුතු සඳහා බොහෝ විට භාවිත වන්නේ ‘ගෝ ප්‍රෝ’ (GoPro) නම් කැමරා වර්ගය ය. මේවා තාක්ෂණික වශයෙන් ඉහළ තත්ත්වයක පවතින අතර රූප රාමු ද ඉතා ඉහළ විභේදනයකින් යුක්ත ය. හෙල්මටය මත පළඳාගෙන යාමේ නීතිමය බාධාවක් නොමැති අතර යම්කිසි පුද්ගලයකු ව පටිගත කරන්නේ නම් අදාළ පුද්ගලයාට මේ බව දැනුම්දීම සදාචාර සම්පන්න වන අතර එසේ නොමැතිව පටිගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නීතිය හමුවේ පෙනී සිටින්නට වුව සිදුවිය හැකිය.

සිරුරේ පැළැඳ යා හැකි කැමරා භාවිතයේ නීතිමය තත්වය එසේ වන අතර ඔබේ ආරක්ෂාව වෙනුවෙන් මේවා භාවිත කිරීමේ ගැටලුවක් නැත. එය ඔබේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී සිටින සෑමවිටකම ඔබට නීතියේ රැකවරණය හිමි වන්නට ඇති ඉඩකඩ වැඩි අතර වැරදි දෙයකට භාවිත කිරීම මගින් ඔබ නීතිය ඉදිරියේ වරදකරුවකු වන්නට ඇති ඉඩකඩ වැඩිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර