කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් සදාචාර මාර්ගය බවකි. එහෙත්, මිනිස් සමාජයේ සාදාචාර මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම් සම්බන්ධ බොහෝ කරුණු ද බුද්ධ දේශනාවන්ට ඇතුලත් ය. එම ඇතැම් දේශනාවන්හි දේශපාලන සහ සමාජමය ස්වරූපයක් ද පැහැදිලිවම දක්නට පුවළුන. විශේෂයෙන් දීඝ නිකායේ චක්කවත්තී සිනහාද, කූට දත්ත ආදී සූත්‍ර වලින් පැවසෙන අන්දමට මෙම සදාචාර පිරිහීමෙහි ලා සමාජ, දේශපාලන සේම ආර්ථික සාධක ද ඉවහල් වනු පෙනෙයි.එමෙන්ම ඒ සඳහා පවත්නා රාජ්‍ය පාලන තන්ත්‍රය ද වගකිව යුතු බව දහමෙහි දැක්වෙයි. නමුත් ඒ කවර නම් කරුණක් මුල් කොට හෝ තම සදාචාර පද්ධතියෙන් පිට පනින මිනිසා පුද්ගල, පවුල් ප්‍රජා සහ සමාජමය වශයෙන් විනාශ මුඛයට පත්වන බව බුදු දහමේ ඉතා පැහැදිලිවම සඳහන් වෙයි.

කොසොල් රජුගේ සිහින දහසය නමින් අප ජන සමාජයේ චිර ප්‍රසිද්ධ පන්සිය පනස් ජාතකයේ හැත්තෑ හත් වන ජාතක කතාව වන මහා සුපින ජාතකයේ එන කතා ප්‍රවෘත්තිය ඊට කදිම නිදසුනකි. කිසියම් ජන සමාජයක විනාශයට හේතු වන අධර්මිෂ්ඨ බව මැනැවින් නිරූපණය කෙරෙන එම කතා ප්‍රවෘත්තිය වත්මන් සමාජය පිළිබඳ පැහැදිලි රූපයක් දැක බලා ගත හැකි කැටපතක්සේ යමකුට සිතෙන්නට පුළුවන.
බුදුන් වහන්සේ ඉතා සමීපව ඇසුරු කළ නරපතීන් අතුරින් පසෙනදී කොසොල් රජතුමන්ට හිමිවනුයේ මුල් තැනකි.ඒ බවට සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයෙන් උකහා ගත හැකි කරුණු බොහොමයකි. පසෙනදී කොසොල් රජතුමා දිනක් රාත්‍රී නින්දේ දී සිහින සොළොසක් දැක එම සිහින පිළිබඳව මහත් බියකට පත්ව එම රාත්‍රිය නොනිදාම පහන් කරයි.පසුව සිය පුරෝහිත බමුණන් කැඳවා එම සිහින පිළිබඳ විමසූ රජ තුමන්ට එම සිහින පිළිබඳව තමන් උගත් ස්වප්න විනිශ්චය ශාස්ත්‍රය අනුව අනාවැකි පළ කිරීමට බමුණෝ අසමත් වෙති.පාලකයන් ගොනාට අන්දවමින් ඔවුන් කඩා වඩා ගන්නා අතරේ රටටද අවැඩක් සිදුකිරීම එදා මෙන්ම අදද බොහෝ පූජකයන් විසින් කරනු ලබන්නකි. ඒ අනුව කොසෙල් රජතුමන්ට උපදෙස් දෙන බමුණන් පවසනුයේ මෙම සිහින දහසයේ පලාඵල අනුව රජුට ජීවිතාන්තරාය,රාජ්‍යාන්තරාය, ධනාන්තරාය යන කරුණු තුනෙන් කුමක් හෝ ඒකාන්ත වශයෙන් අත්විඳීමට සිදු වන බවකි. ඉන් අත්මිදීමට නම් ඉතා විශාල යාගයක් සිදු කළ යුතු බවට ද බමුණෝ රජුට උපදෙස් දෙති රජු ද තමන් හට ඉන් කුමන හෝ විපතක් සිදු වේයැයි බියෙන් මහා යාගයකට සූදානම් වූ අතර ඉන් සිදුවන මහා පරිමාන සත්ව ඝාතන,පාරිසරික විනාශය සේම රාජ්‍යය සතු සුවිසල් ධනස්කන්ධයක් කපටි බමුණන් අතර පත්වීම නියත බව වටහා ගත් කෝසල මල්ලිකා බිසව ඉන් පෙර බුදුන් හමුවට ගොස් උන් වහන්සේ ගෙන් ඒ සම්බන්ධ උපදෙසක් ගන්නා මෙන් රජුගෙන් උල්ලා සිටින්නීය.ඒ අනුව බුදුන් හමුවට පැමිණි කොසොල් රජ තමන් දකින ලද ස්වප්නයන් පවසා එයින් සිදුවන දෑ විමසා සිටිනුයේ බමුණන් නියම කළ යාගය සම්බන්ධ යෝග්‍යතාව විමසා බැලීමට ය.”මහ රජ මේ සිහින මඟින් ඔබට හෝ ඔබගේ රාජ්‍යයට කිසිදු නපුරක් අයහපතක් සිදු නොවේ.මින් පෙන්නුම් කොට ඇත්තේ අනාගතයේ පහළ වන අධර්මිෂ්ඨ පාලකයන් නිසා මිනිස් සමාජයට සිදු වන අයහපත පමණි”යනුවෙන් කොසොල් රජතුමන්ගේ සිත සනසන බුදුන් වහන්සේ රජු දුටු එක් එක් සිහිනයට දෙන අර්ථ විග්‍රහයන් මෙසේ ය.

පළමු සිහිනය:

කළු ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් පැමිණ යුද්ධ කිරීමට මෙන් සැරසී ජනතාව රැස් වූ විට නාද කොට ගර්ජනා පමණක් කොට යුද්ධ නොකොටම පලායාම.

අර්ථ විග්‍රහය: අනාගතයේ රටේ පාලකයගේ පටන් සමස්ත සමාජය තුළ ධාර්මික බව ගිලිහී යන විට නිසි කලට වැසි නොලබෙන බව හා, වැසි වසින්නට මෙන් සැරසී ජනතාව බලාසිටින විට වැසි නොලැබී යාම.මෙය වඩාත් කෙටි කොට දැක්වුව හොත් කාලගුණික සහ දේශගුණික විපර්යාස හට ගැනීම වශයෙන් සැලකිය හැකිය.

දෙවැනි සිහිනය:

කුඩා පැළ ගස්වල මල් පල හට ගැනීම

අර්ථ විග්‍රහය: සමාජය ආධාර්මගාමී වීම තුළ එම සමාජවල ස්ත්‍රී පුරුෂයන් අධික කාමරාගයෙන් මුසපත්ව කුඩා කාලයේදීම ආවාහ විවාහ සිදු කර ගැනීම නිසා දරුවන් ලැබීම.

තෙවැනි සිහිනය:

මවු දෙනුන් ඒ දවසම උපන් තම පැටවුන්ගෙන් කිරි බීම.

අර්ථ විග්‍රහය:වැඩිහිටියන් නොසලකන සමාජයක් ඇති වන විට මවුපියන් හට දරුවන්ගේ බැල මෙහෙවර කොට දරුවා යටතේ ජීවත්වීමට සිදුවීම

සිව්වැනි සිහිනය:

ශක්තිමත් ගොනුන් සිටියදී නුපුහුණු ළදරු ගොනුන් බර ඉසිලීමට යෙදීම එම ළපටි ගොනුන් හට බර උසුලාගෙන යාමට නොහැකිව සිටීම.

අර්ථ විග්‍රහය:අදැහැමි පාලකයන් විසින් යුක්තිය පසඳලීමට සමත් ඇමැති මැතිවරුන් පසෙකට කර නුසුදුස්සන් හට තනතුරු දීම හේතු කොට ගෙන වැඩකටයුතු ව්‍යාකූල වීම

පස්වැනි සිහිනය:

දෙපසම මුව සහිත අශ්වයෙකු මුව දෙකෙන්ම අනුභව කිරීම

අර්ථ විග්‍රහය:අධර්මය රජ කරවන සමාජය තුළ යුක්තායුක්ත පසඳලීමට සිටින විනිසුරුවරුන් ආදීන් අල්ලස් ගෙන අයුක්තිය යුක්තිය බවට පෙරළීම

හයවන සිහිනය:

මහජනයා එක්ව ලක්ෂයක් අගනා රන්තලියක මුත්‍රා කිරීමට මහලු සිවලෙකුට දීම.

අර්ථ විග්‍රහය:පාලකයන් පුද්ගල තරාතිරම නොතකා නීචයන්ට උසස් තනතුරු සහ බලතල දීම මත සදාචාර සම්පන්න මිනිසුන් සමාජය තුළ නිර්ධනයන් වීම ඒ අනුව ඔවුන්ගේ කුල කතුන් නීචයන් හට පවා දීමට සිදු වීම.

සත්වන සිහිනය:

පුරුෂයෙකු රැහැනක් අඹර අඹරා තබන අතර දෙපා මුල සිටිනා නරි දෙනක් එම රැහැන අනුභව කිරීම.

අර්ථ විග්‍රහය:අධර්මගාමි සමාජයක පරපුරුෂයන් ඇලුම් කරන කාන්තාවන් තම ස්වාමියා වෙහෙස වී උපයන ධනය සොර සැමියන් හා එකතුව නාස්තිකාර ලෙස විනාශ කිරීම

අටවන සිහිනය:

රජ මිදුලෙහි හිස් භාජන මැද ජලය පිරුණ කලයක් ඇති අතර සියල්ලෝ පිරුණ කලයටම ජලය පුරවන අතර කිසිවකුත් හිස් කළ දෙස නොබැලීම

අර්ථ විග්‍රහය:අදැහැමි සමාජයේ පාලකයන් දිළිඳු වන අතර ජනතාව ලවා තම සුභසිද්ධිය පිණිස ම අයබදු ආදිය අය කිරීම.ධනය උපයන ජනතාවට පාලකයන්ගේ කටයුතු සිදුකරනු විනා තමන්ගේ කටයුතු සිදු කර ගැනීමට අවකාශ නොලැබීම

නවවන සිහිනය:

පස් පියුමෙන් සැදි විලක සෑම පැත්තෙන්ම දිය බිමට සතුන් පැමිණෙන අතර පොකුණෙහි මැද ගැඹුරු නොවන අතර ජලය පෑගෙන පැත්තෙහි ජලය පිරිසිදුව පවතී. නොපෑගෙන විල මැද ජලය අපිරිසිදුව පවතී.

අර්ථ විග්‍රහය:අදැහැමි පාලකයන් දැඩිසේ අයබදු ගැනීම හේතු කොටගෙන ජනතාව තම සමාජ සක්‍රිය බව නවතා නගර තුළින් ඈත්වී නියම් ගම් තුළට වී ජිවත් වීම

දසවන සිහිනය:

ලිපේ තබන ලද මුට්ටියෙහි බත තුන් ආකාරයකට පිසෙනු දැකීම.

අර්ථ විග්‍රහය:අදැහැමි පාලකයන් රාජ්‍ය කටයුතු නොමනා ලෙස හසුරවන කල නිසි ලෙස වැසි නොලැව්බීම හා ලැබෙන වැස්ස ද යොදාගෙන කුඹුරු ගොවිතැන් ආදිය නිසි ලෙස සිදුකර ගැනීමට ජනතාවට නොහැකි වීම.

එකොළොස් වන සිහිනය:

ලක්ෂයක් වටිනා සදුන් අරටුව කුණු මොරුවලට විකිණීම.

අර්ථ විග්‍රහය:අදැහැමි සමාජය තුළ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් උතුම් වූ ධර්මය ලාභාපේක්ෂාවන් සඳහා යොදා ගැනීම

දොළොස් වන සිහිනය:

ලබු කබල් දියේ ගිලිම

අර්ථ විග්‍රහය:නුසුදුසු පුද්ගලයන් සමාජයේ ඉහල තනතුරු වලට පත් කිරීම මත් ඔවුන් සමාජය හමුවේ අනිසි ලෙස වැජඹීම මින් නිරූපණය වේ.

දහතුන් වන සිහිනය:

කළුගල් ජලයේ පාවීම

අර්ථ විග්‍රහය:පරිහානියට පත් වු සමාජය තුළ උගත් බුද්ධිමත් පුද්ගලයන්ගේ බස නොපිළිගෙන. උගතුන් බුද්ධිමතුන් නොසලකා හැරීම

දාහතර වන සිහිනය:

කුඩා ගෙඹි දෙන්නු කළු සර්පයන් ලුහු බැඳ ගෙන ගොස් කුඩා කුඩා කැබැලිවලට කඩාගෙන කෑම

අධික රාගයෙන් වසඟ වූ අධර්මයට බර වු සමාජයේ වියපත් පුරුෂයන් ළාබාල තරුණියන් විවාහ කරගැනීමත් එම තරුණ කතුන් ධන සම්පත් තමා භාරයට ගෙන තම වියපත් ස්වාමියා නොසලකා තමාට රිසි ලෙස කටයුතු කිරීම.

පහළොස්වන සිහිනය:

ස්වර්ණ හංසයන් පිරිවරාගෙන කපුටෙකු සිටීම.

අර්ථ විග්‍රහය:අදැහැමි පාලකයන් රාජ්‍ය අනුග්‍රහය ලත් තනතුරු හිමි කර ගත් තමන් හා සම නොවු පහත්පෙළ පුද්ගලයන්හට තනතුරු දීම හේතුකොට ගෙන තම සම්පත් උදුරා ගනිතැයි යන බියෙන් එම නූගත් පුරුෂයන් යටත් සේවය කරන්නට උගත් පුද්ගලයන්හට සිදු වීම

සොළොස්වන සිහිනය:

එළුවන් කොටියන් ලුහුබැඳ ගොස් මරාගෙන කෑම‍.

අර්ථ විග්‍රහය:අධාර්මික සමාජයේ ගුණහීනයන්, හීනයන් රජවරු හා විශ්වාසීව උගත් බුද්ධිමත් කුලවත් පිරිස භිය වද්දා ඔවුනගේ සම්පත් පැහැර ගැනීම මින් කියවේ.

කොසොල් රජු දුටු මෙම සොළොස් මහා සිහින පැහැදිලි කොට දුන් බුදුන් වහන්සේ ඉන් එතුමන්ට හෝ එතුමන්ගේ රාජ්‍යයට හානියක් නොවන බවත් අනාගතය තුළ පහළ වන අධාර්මිෂ්ට පාලකයන්ගේ කාලයේ දී මෙම කරුණු උද්දීපනය වන බවත් පෙන්වා දුන්හ. එහෙත්, ඉහත සඳහන් සමාජමය දුර්දාන්තභාවය ලොව සෑම ජන සමාජයකටම එකාකාර ලෙස බලපවත්වන්නේද යන්න සියුම් ලෙස විමසන අපට එක් දෙයක් පැහැදිලි වනු ඇත. එනම් එය ලොව පවත්නා සමාජ, ආර්ථික, දේශපාලන න්‍යායන් මත එක් එක් ජන සමාජයන් කෙරෙහි විෂමාකාරයෙන් බලපාන බවය. ඒ අනුව ඒ සම්බන්ධ අපගේ පෞද්ගලික වැටහීමට අනුව කොසොල් රජුගේ සිහින දහසය උපරිම අයුරින් සැබෑ වූ රටක් ලෙස ඇතැමුන් බුදුන් දේශය යනුවෙන් හඳුන්වන අපගේ ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති බවකි.එමෙන්ම ඒ සඳහා හේතු වන කරුණු ද ශ්‍රී මුඛ දේශනාවේම සඳහන් බැවින් ඒ පිළිබඳව අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.

කදුරුපොකුණේ සුමංගල හිමි

 

පහන් ටැඹ