සුනඛ සුරතලුන්ගේ වැරදි පුරුදු නතර කරන්නට පුහුණුව ඉතා වැදගත්

vinivida

නිවසේ ඇති දැඩි කරන සුනඛ සුරතලුන්ගේ සමහර පුරුදු ඔබට විශාල කරදරයක්, අපහසුවක් විය හැකියි. ඔබට පමණක් නොව ඇතැම් විට අසල්වැසියන්ට පවා කරදරයක් විය හැකි එම පුරුදු හේතුවෙන් සුනඛ සුරතලා ඔබෙන් මෙන්ම අසල්වැසියන්ගෙන්ද පහරකෑම්වලට ලක්වීමට තිබෙන අවස්ථාද වැඩියි. සමහරවිට මේ පුරුදු නිසාම ඇතමුන් තම සුනඛයා කොහේ හෝ ගෙන ගොස් අතරමං කිරීමට තරම් අකාරුණික වෙන අවස්ථාද තිබෙනවා. නමුත් එවැනි අමානුෂික පියවරයන්ට නොයා ඔබේ සුනඛ සුරතලාගේ වැරදි පුරුදු නතර කරන්නට ඔබට හැකියාව තිබෙනවා. ඔබ කළ යුත්තේ ඒ පිළිබඳව දැනුවත් වීමයි.
හොඳ, එහෙම නැත්නම් යහපත් හැසිරීම් කියන්නේ කිසිවෙකුටත් උප්පත්තියෙන් උරුමවන දෙයක් නොවෙයි. නරක විදිහට හැසිරෙන්නට ඕනෑම මනුෂ්‍යයෙකුට සේම, තිරිසන් සතකුටද හැකියාව තිබුණත් යහපත් හැසිරීමක් කියන්නේ ප්‍රගුණ කළ යුතු දෙයක්. මේ පුහුණුව තුළින් සුරතල් සුනඛයන් සතු පොදු වැරදි කිහිපයක් නිවැරදි කරගන්නා ආකාරය අපි දැන් බලමු.

වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් ඇසුරේ සිටීම නිසා සුනඛයන්ට මිනිසුන් කියන දේ වටහා ගැනීමේ හැකියාව තිබෙනවා. එනිසා ඔබේ විධානයන් වටහා ගැනීමට ඔවුන් හුරු කිරීම පහසුයි. නමුත් ඒ විධානයන්ද නොතකා අනෙක් අයට අවහිරකාරී වන අන්දමින් දිගින් දිගටම බිරීමේ නිරතවීම බොහෝ සුනඛයන් සතු නරක පුරුද්දක්. මෙහිදී විධානයන් දීම සඳහා ඔබේ ස්වරයේ දැඩි බව, තදබව උපයෝගී කර ගත හැකියි.

අනවශ්‍ය ලෙස බිරීම

සුනඛයෙකුට සොබාදහමින් උරුම වූ දායාදය වන්නේ බිරීමයි. බුරන්නට නොහැකි සුනඛයකුගෙන් ඇත්තටම පලක් නෑ. බොහෝ විට බිරීම මගින් සුනඛයන් උත්සාහ ගනු ලබන්නේ තම ආධිපත්‍යය සතුරන්ට එරෙහිව ප්‍රදර්ශනය කිරීමට හෝ තම ස්වාමියාට කිසියම් හෝ කරුණක් සන්නිවේදනය කිරීමටයි. දැනුම් දීමකින් තොරව කිසිවකු නිවසට පැමිණීම මෙන්ම අසාමාන්‍ය වස්තුවක චලනයක් හෝ ශබ්දයක් පිළිබඳව ස්වාමියා දැනුවත් කිරීම සඳහා ද සුනඛයන් මේ ආකාර වූ බිරීම් රටාවක් උපයෝගී කරගන්නවා. නමුත් සමහර අවස්ථාවලදී කිසිම හේතුවක් නැතුවත් ඔවුන් බුරනවා. ඔබේ සුනඛයාගේ බිරීම ඔබට මෙන්ම අසල්වාසීන්ටද කරදරයක් විය හැක්කේ මෙවැනි අවස්ථාවලදී යි. බිරීම පිළිබඳ පාඩම ඔවුන්ට ඉගැන්විය යුත්තේ එවිටයි.
හොඳම පියවර නම් කුඩා අවධියේදීම මිනිස් විධානයන්ට අවනත වීමට ඔවුන්ව පුහුණු කිරීමයි. වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් ඇසුරේ සිටීම නිසා සුනඛයන්ට මිනිසුන් කියන දේ වටහා ගැනීමේ හැකියාව තිබෙනවා. එනිසා ඔබේ විධානයන් වටහා ගැනීමට ඔවුන් හුරු කිරීම පහසුයි. නමුත් ඒ විධානයන්ද නොතකා අනෙක් අයට අවහිරකාරී වන අන්දමින් දිගින් දිගටම බිරීමේ නිරතවීම බොහෝ සුනඛයන් සතු නරක පුරුද්දක්. මෙහිදී විධානයන් දීම සඳහා ඔබේ ස්වරයේ දැඩි බව, තදබව උපයෝගී කර ගත හැකියි. එම විධානයට අවනතව බිරීම නතර කළහොත් ඔවුන්ව අගය කිරීම හෝ ඉතා සුළු කෑමක් වැනි දෙයක් තිළිණ කිරීම වැනි දේ තුළින් මිනිස් විධානයන්ට අවනත වීමේ වැදගත්කම කුඩා අවධියේදීම සුනඛයන් වටහා ගන්නවා.

දකින දකින දේ සැපීම

මෙය ඔබේ නිවසේ ගෘහ භාණ්ඩ ඇතුළු වෙනත් බඩුමුට්ටුවලට, පාවහන්වලට, ඇතැම් විට ඇඳුම්වලට පවා විනාශකාරී තත්ත්වයක් වනු සේම, සමහර අවස්ථාවලදී මේ සැපීම සුනඛයාගේ සෞඛ්‍යයට ඉතා අහිතකර වන්නටත් පුළුවන්. හේතුව, එම සැපීමත් සමග ගිලෙන ප්ලාස්ටික්, ලී හෝ වෙනත් අහිතකර ද්‍රව්‍යයන් සතාගේ බඩවැල් අවහිර කිරීමෙන් ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් විය හැකි නිසයි. එබැවින් සුරතලාගේ දත් වර්ධනය වන කුඩා අවධියේදී මේ ආකාරයෙන් කිසියම් ද්‍රව්‍ය සැපීම බොහෝ විට සිදුවූවත් එය පුරුද්දක් බවට පත්වීම අනිවාර්යෙන් නිවැරදි කළ යුතුයි.
මේ සඳහා එම සතුන් වැඩෙන තුරු බලා සිටීමට අවශ්‍ය නෑ. කුඩා අවධියේදීම එය හුරු කිරීම ඔබට පහසුවක්. සතා වයසින් වර්ධනය වන විට මෙවැනි දෑ ඉගැන්වීම පහසු කටයුත්තකුත් නොවෙයි. සැපීම නිසා ඔවුන්ගේ ශරීරයට කිසිදු හානියක් නොවන සෙල්ලම් බඩු වෙළඳපොලේ තිබෙනවා. එසේ නැත්නම් මස් කටු වැනි දේ ද ඔබට මේ සඳහා යොදා ගන්න පුළුවන්. කුඩා අවධියේදී මොවුන් හුරු කළ යුත්තේ ඒ ආකාර වූ ද්‍රව්‍යයන් පමණක් සැපීමටයි. මේවා හැර වෙනත් ද්‍රව්‍යයන් මොවුන් සපන්නේද යන්න ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුයි. යම් හෙයකින් ඔවුන් වෙනත් ද්‍රව්‍ය සපයන බව ඔබ දුටුවහොත් ඔවුන්ගේ දෑසට ළංව දෑස දෙස සෘජුවම එබී බලාගෙන එය වැරදි බව තදින් කියා සිටින්න. කුඩා අවධියේදී ඉගෙන ගන්නා පාඩම් ඔවුන් ජීවිත කාලය පුරාම මතක තබා ගන්නවා.

කිසිවිටෙකත් ඔබ ආහාර ගන්නා අවස්ථාවේදී ඔබේ පිඟානෙන් ඔවුන්ට ආහාර නොදිය යුතුයි. ආහාර ගැනීම සඳහා ඔහුගේ ස්ථානයට යාමටත්, වෙලාව එනතුරු ආහාර නොලැබෙන බවත් කියාදිය යුත්තේ ඔවුන් කුඩා අවධියේදීමයි.
නමුත් මේ පුරුද්දට හුරු නොවූ සුනඛ සුරතලෙකු ඔබට සිටින්නේ නම් ඔබ ආහාර ගෙන අවසන් වනතුරු සුරතලාව වෙනත් ස්ථානයක රඳවා තබන්න. ටික දිනක් මෙසේ කිරීමෙන් තම වැරදි හැසිරීම පිළිබඳව සුරතලා ඉගෙන ගන්නවා.

ආහාර ඉල්ලමින් කරදර කිරීම

මෙය ඔබ මුලදීම නිවැරදි කරගත යුතු පුරුද්දක්. කිසිවිටෙකත් ඔබ ආහාර ගන්නා අවස්ථාවේදී ඔබේ පිඟානෙන් ඔවුන්ට ආහාර නොදිය යුතුයි. ආහාර ගැනීම සඳහා ඔහුගේ ස්ථානයට යාමටත්, වෙලාව එනතුරු ආහාර නොලැබෙන බවත් කියාදිය යුත්තේ ඔවුන් කුඩා අවධියේදීමයි.
නමුත් මේ පුරුද්දට හුරු නොවූ සුනඛ සුරතලෙකු ඔබට සිටින්නේ නම් ඔබ ආහාර ගෙන අවසන් වනතුරු සුරතලාව වෙනත් ස්ථානයක රඳවා තබන්න. ටික දිනක් මෙසේ කිරීමෙන් තම වැරදි හැසිරීම පිළිබඳව සුරතලා ඉගෙන ගන්නවා. ඔවුන්ට කලින් ආහාර දීම මෙම පුරුද්දෙන් වළකා ගැනීමට පහසු මාර්ගයක් ලෙස සමහරුන් සිතිය හැකියි. නමුත් එය ඔබේ ස්වාමිත්වයට හානියක්. මිනිසුන් කැලෑවේ කණ්ඩායම් ලෙස ජීවත්වන විට දඩයමක් කළහොත් පළමුවෙන්ම එය කෑමට ගන්නේ ස්වාමියා යි. නමුත් සුනඛයාට පළමුවෙන් ආහාර දීමෙන්, ස්වාමියා තම හාම්පුතා නොව තමන් බව සිතීමට සුනඛයන් තුළ ඉබේම පෙළඹවීමක් ඇතිකරවනවා. මේ නිසා සුනඛයන්ට ආහාර දිය යුත්තේ ඔබ ආහාර ගැනීමෙන් පසුවයි. නැතහොත් ඔවුන් කෑම ඉල්ලා ඔබට කරදර කරනු ඇති.

වලවල් හෑරීම

සුනඛ සුරතලා ගෙවත්තේ වළවල් හෑරීම හේතුවෙන් ඔබ බොහෝ අපහසුතාවයන්ට ලක්වනවා විය හැකියි. ඇතැම් සුනඛයන් පස් කෑම සඳහා මෙලෙස වලවල් හාරන අතර සමහර විට අධික උෂ්ණත්වයෙන් මිදීම සඳහාත් ඔවුන් එසේ කරනවා. මෙම ක්‍රියාවත් වැරදි බව කුඩා අවධියේදීම ඔවුන්ට වටහා දිය යුතුයි. ඊට අමතරව වෛද්‍යවරයකු වෙත සුරතලා ගෙන ගොස් රෝග තත්ත්වයක් හේතුවෙන් මෙසේ වලවල් හාරන්නේද යන්න සොයා බැලීම වැදගත්.
මෙලෙස ඔබේ සුනඛ සුරතලාගේ වැරදි පුරුදු කුඩා අවදියේදීම නිවැරදි කිරීම සඳහා පුහුණු කරන්න. එවිට ඔබේ සුනඛයා ඔබට මෙන්ම අන් අයටද කරදරයක් නොවන ආකාරයට උගේ පැවැත්ම සකසා ගනීවි.

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

සැකසුම – ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය