සුපිරි නළු ධනුෂ් සහ අයිශ්වර්යා දික්කසාද වීමට සැරසෙති

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු ධනුෂ්ගේ රසික රසිකාවියන්ට පසුගිය දිනවල අසන්නට ලැබුණේ තරමක් කණගාටුදායක පුවතක්. ඒ ඔහුගේ විවාහ දිවිය සම්බන්ධවයි. ධනුෂ් විවාහ වී සිටින්නේ සුපිරි නළු රජිනිකාන්ත් ගේ වැඩිමල් දියණිය වන අයිශ්වර්යා සමග බව බොහෝ සිනමාලෝලීන්ට රහසක් නොවෙයි. පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ දෙදෙනා නිල වශයෙන් දික්කසාද වීමට සූදානම් වන බවයි.

ධනුෂ් සහ අයිශ්වර්යා 2022 වසරේ පටන්ම එකට ජීවත් වුණේ නැහැ. තමුන් එකිනෙකාගෙන් වෙන් වන බවක් එම වසරේ මේ දෙදෙනා නිවේදනය කළා. ඔවුන් මේ අයුරින් වෙන් වූයේ වසර 18 ක යුග දිවියකින් පසුව යි. නමුත් එම අවස්ථාවේ ඔවුන් නිල වශයෙන් දික්කසාද වුණේ නැහැ. තවමත් යොවුන් වියේ පසුවන දරුවන් දෙදෙනකු සිටින නිසා ධනුෂ් සහ අයිශ්වර්යා දික්කසාදය තරමක් කල් දමන්නට කල්පනා කළා විය හැකියි. එමෙන්ම ඔවුන් වෙන් වීම ගැන රජිනිකාන්ත් ද දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවක් ඒ කාලයේ වාර්තා වුණා.

මේ දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වුවත් නැවත එක් වීමට ඉඩ ඇති බවක් ද ඇතැමුන් කල්පනා කළ බැව් පෙනුණා. මේ බවට ඉඟි කළ මාධ්‍ය වාර්තා පවා මෙයට මාස කිහිපයකට පෙර පළ වී තිබෙනු දැකිය හැකි වුණා. ඒවායෙහි සඳහන් වූයේ ධනුෂ් සහ අයිශ්වර්යා නැවත එක් වීම ගැන සලකා බලමින් සිටින බවයි. නමුත් දැන් ඒ සියල්ල වෙනස් වී ඇති බවයි පෙනෙන්නේ.

ධනුෂ් සහ අයිශ්වර්යා දික්කසාදය සඳහා සූදානම් වන බවත්, මෙයට අදාළව ඔවුන් චෙන්නායි හි අධිකරණයක් හමුවට ගොස් ඇති බවත් පසුගිය දා වාර්තා වුණා. මාධ්‍ය සඳහන් කර තිබුණේ ඉක්මනින්ම ඔවුන්ගේ දික්කසාදය සම්බන්ධ කටයුතු අවසන් වනු ඇති බවයි.

2004 වසරේ පටන් අඹුසැමියන් ලෙස ජීවත් වූ මේ දෙදෙනා හදිසියේම එකිනෙකාගෙන් වෙන් වීමට තීරණය කළේ මන්ද යන්න බොහෝ දෙනා තුළ දැඩි කුතුහලයක් ඇති කළා. නමුත් මේ ගැන ධනුෂ්වත්, අයිශ්වර්යාවත් නිශ්චිත ප්‍රකාශයක් කළේ නැහැ. මේ නිසා මාධ්‍ය තුළ විවිධ අනුමානයන් පළ වී තිබෙනු දකින්නට ලැබුණා. ධනුෂ්ගේ අනියම් සම්බන්ධයක් ගැන කතාවකුත් මේ අතර තිබුණා. එම කතාවෙන් පැවසුණේ ඔහු සහ ශෘති හාසන් නැමැති නිළියක අතර පැවැති සම්බන්ධයක් නිසා ධනුෂ්-අයිශ්වර්යා විවාහය බිඳ වැටුණු බවයි. ධනුෂ් සහ ශෘති අතර සම්බන්ධය ආරම්භ වූයේ ‘3’ නැමැති සිනමාපටයක රඟපාද්දී බවයි මේ කතාවලින් පැවසුණේ. කෙසේ හෝ වේවා, මෙම කටකතා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරමින් ශෘති හාසන් ප්‍රකාශයක් කර තිබුණා. ඇය සඳහන් කර තිබුණේ ධනුෂ් තමාගේ හොඳම මිතුරෙකු පමණක් බවයි.

ධනුෂ් සහ අයිශ්වර්යා අතර විවාහය බිඳ වැටෙන්නට හේතු වූයේ ධනුෂ්ගේ කාර්යබහුලකම බවයි සමහර මාධ්‍ය වාර්තාවලින් පැවසුණේ, ධනුෂ් යනු දෙමළ සිනමාවේ කාර්යබහුලම නළුවකු බව රහසක් නොවෙයි. මෙම තත්ත්වය තුළ ඔහුට පවුලේ කටයුතු වෙනුවෙන් කාලයක් වෙන් කිරීමට නොහැකි වීම නිසා ඇති වූ ගැටලු විවාහයට බලපෑ බව මෙම කතාවලින් පැවසුණා.

ධනුෂ් සහ අයිශ්වර්යා එකිනෙකට වෙනස් මාර්ග දෙකක ගමන් කිරීමට පටන් ගැනීම නිසා ඔවුන් අතර ඇති වූ ඈත් වීම දික්කසාදයට හේතු වූ බවටත් කතාවක් තිබුණා. ධනුෂ් ඔහුගේ සිනමා කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කරද්දී අයිශ්වර්යා වඩාත් අධ්‍යාත්මික ජීවිතයකට යොමු වූ බව මේ කතාවලින් කියැවුණා.

කෙසේ හෝ වේවා, මේ දෙදෙනාගේ දික්කසාදය ඔවුන්ගේ රසික රසිකාවියන් තුළ විශාල කණගාටුවක් ජනිත කරන්නට ඇතුවාට සැකයක් නැහැ.

දික්කසාදය පිලිබඳ මේ ආරංචි පැතිරෙද්දී ධනුෂ් රඟපෑමට නියමිත විශේෂ සිනමාපටයක් ගැනත් පසුගිය දිනවල විශාල අවධානයක් යොමු වී තිබුණා. මෙම සිනමාපටය ඉන්දියාවේ සුප්‍රකට සංගීතඥ ඉලෙයරාජාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන සිනමාපටයක්. ධනුෂ් තමයි මෙහි ඉලෙයරාජාගේ චරිතය නිරූපනය කරන්නේ.

මෙම සිනමාපටය නම් කර ඇත්තේ Ilaiyaraaja: The King of Music යන නමින්. මෙහි රඟපෑමට ලැබීම තමාගේ දීර්ඝ කාලීන සිහිනයක් ඉටුවීමක් බව ධනුෂ් පවසනවා.
‘ඉලයරාජා ගේ සහ රජිනිකාන්ත් ගේ ජීවිත කතා රැගත් චිත්‍රපටවල ඔවුන් ගේ චරිත රඟපෑමට මා තුළ හැමදාමත් සිහිනයක් තිබුණා. දැන් එයින් එක සිහිනයක් නම් මල්ඵල ගැන් වී තිබෙනවා. අනෙක් සිහිනය කවදා ඉටු වේවිදැයි මා දන්නේ නැහැ. මෙම චිත්‍රපටයට සම්බන්ධ වීමට ලැබීම කලාකරුවකු හැටියට මා ලැබූ විශාල ගෞරවයක්. මට මෙම ආරාධනය ලැබුණේ මේ මහා සංගීතඥයාගෙන්ම වීම ගැන මා තුළ ඇත්තේ විශාල සතුටක්. එය මා ලැබූ මහත් ආශිර්වාදයක්” යයි ධනුෂ් සඳහන් කර තිබුණා.

රජිනිකාන්ත් සහ කමල් හසන් ද මෙම සිනමාපටයේ කෙටි චරිත දෙකක් රඟපානු ඇති බවටත් කතාවක් තිබෙනවා.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්