සුළං විදුලි ව්‍යාපෘතිය ගැන අදානි සමාගමේ නිලධාරින් හා කංචන අතර තවත් හමුවක්

මන්නාරම හා පුනරින් සුළං විදුලිබල ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ නිලධාරීන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පවත්වා තිබේ.

ඒ, ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ය.

ඊට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ විධායක අධ්‍යක්ෂ සාගර් අදානි සහ අදානි එනර්ජි සොලූශන්හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්දානා ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, මන්නාරම හා පුනරින්හි මෙගාවොට් 484 ක සුළං බල විදුලි උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි.‍

මන්නාරම සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 250ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරගැනීමට අපේක්ෂිත අතර, පූනරින් ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කරගැනීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගාවොට් 234කි.

කාලීන පුවත්