හරිම විදිහට ‘බෙඩ් රෙස්ට්’ කරන්නේ කොහොමද?

බොහොමයක් අසනීප වලදී ඊට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඇඳ විවේකය ගන්නා ලෙස රෝගීන්ට උපදෙස් දෙති . නමුත් ඇඳ විවේකය හෙවත් බෙඩ් රෙස්ට් යන්නෙහි සැබෑ අරුත පිළිබඳව බොහෝ දෙනකුට වැටහීමක් ඇති බවක් නොපෙනේ.
ඇඳ විවේකය වෛද්‍යවරුන් අනුමත කරන්නේ ශරීරය වෙහෙස වීම සුදුසු නැති අවස්ථාවලදීය. වෙහෙස වීම යනු දහඩිය දමන තුරු බරපතළ වැඩ කිරීම පමණක් නොවේ. ශරීරය තුළ ඇති මාංශපේශි සියල්ල යම් හෙයකින් විවේක ගන්නේ නම් ඒ වෙලාවේම ඔබ සිරුර මහන්සි කරවන්නට ගියහොත් ක්ෂණයකින් බිම ඇද වැටීම සිදුවේ. සිහිසුන් වන රෝගීන්ගේ සිදුවන්නේ මෙවැනි තත්වයකි.
ඔබ පුටුවක වාඩිවී විවේක සුවයෙන් සිටියත් කොන්ද කෙළින් තබාගෙන සිටින්නේ කොන්ද වටේට ඇති මාංශ පේශී වලින් හැම පැත්තෙන්ම ඇද තබා සිටින නිසාය. පුරුක් තුනක් ඇති දම්වැලක් අත්දෙකෙන් ඇද කෙළින් තබා උඩින් අතහැරි විට එය කඩා වැටෙනවා නේද? එයට හේතුව වැටෙන්නේ නැති වෙන අයුරින් හැම පැත්තෙන්ම අල්ලාගෙන නොසිටින නිසාය. අපේ කොන්දෙහි කොඳු ඇට එක උඩ එක සිටින පරිදි සෑදී තිබෙන්නේ කොන්ද හැම පැත්තටම නැවිය හැකි ආකාරයටය. දම්වැල් පුරුක් මෙන් ඒවාටද ඕනෑම පැත්තකට නැවෙන්නට පුළුවන. නමුත් එය කළ හැක්කේ යම් සීමාවක් තුළ පමණි. අපේ පිට පුරාම තිබෙන්නේ ඇට වලට අමතරව, අපව කෙළින් තබාගෙන හිඳීම සඳහා මහන්සි වෙන මාංශ පේශීන් පමණි . පිට පුරාම අත යවා බැලුවහොත් එය ඔබේ අතට දැනෙනු ඇත.
මේ මාංශ පේශි සියල්ල විවේකයට පත්වෙන්නට නම් අප ඇඳක් මත දිගාවී සිටිය යුතුය. ඒ සියල්ල විවේකයෙන් වුණත් මොළය දිගටම ක්‍රියාකාරීව පවතී.
මාංශපේශි සියල්ලටත් ශරීරයේ හැම අවයවයකටම මෙන් නඩත්තුවක් අවශ්‍ය ය.
සමහර රෝගාබාධවලදී ශරීරයේ විවිධ කොටස් බලාපොරොත්තුවන මේ නඩත්තුව දිගටම ලබාදීම දුෂ්කර වෙයි. එවැනි අවස්ථාවල වෛද්‍යවරු ඇඳ විවේකය නිර්දේශ කරති. ශරීරයේ විවිධ කොටස් දිගින් දිගටම ග්ලූකෝස් යන සීනි වර්ගය බලාපොරොත්තු වෙයි. එසේම වාතයේ ඇති ඔක්සිජන් බලාපොරොත්තු වෙයි. උණුසුමද බලාපොරොත්තු වනු ඇත. මේ සියල්ල ශරීරය පුරාවටම ලබාදෙන්නේ රුධිරය සමග දිය කිරීමෙනි. රුධිරය ශරීරය පුරා බෙදා හරින්නේ පොම්පයක් ලෙස ක්‍රියා කර ලේ ඉදිරියට තල්ලු කරන හදවත මගිනි. ලේවලට ඔක්සිජන් එකතු කරන්නේ පෙනහලුවලින් ය. සීනි එකතු කරන්නේ ආහාර මාර්ගය මගිනි. ලේවල ඇති අපද්‍රව්‍ය ඉවත් කරන්නේ වකුගඩු හරහා රුධිරය ගමන් කරන විටය. මේ අවයවවල රෝගී තත්ත්වයන් ඇති වූ විට ඇඳ විවේකය ලබා ගන්නට වෛද්‍යවරුන් නිර්දේශ කරනු ඇත. රෝහලක රෝගීන් වෙනුවෙන් කුමක් නැති වුණත් ඇඳක් සූදානම් වී තිබෙන්නේ මේ නිසාය.
මීට අමතරව ශරීරය කෙළින් කරන්නට නම් ශරීරය තුළ ඇති අස්ථි පද්ධතිය හොඳින් පැවතිය යුතුය. අස්ථි කැඩීම් බිඳීම් නිසා හෝ වෙනත් රෝගයක් නිසා ඔබට කෙළින් සිට ගන්නට නොහැකි වීමට පුළුවන . අස්ථිවල අලුත්වැඩියා සාමාන්‍යයෙන් ඉතා සෙමෙන් සිදු වෙන බැවින් එය අවසන් වනතුරු වැඩ නොකරන අස්ථි කොටස පමණක් හෝ මුළු ශරීරයම හෝ විවේක සුවයෙන් තබන්නට සිදුවිය හැකිය. ශරීරයේ ඉතාමත් වටිනා ම කොටසක් වන ස්නායු පද්ධතිය අස්ථි තුළ ඉතාමත් ආරක්ෂිතව තබා තිබේ. කැඩුණු අස්ථියක ඉතාමත් සුලු සෙලවීමක් මගින් ස්නායු වලට තදබල තුවාලයක් සිදුවිය හැකිය. ස්නායු යනු කැඩුණොත් ආයෙමත් අලුත්වැඩියා සිදුනොවන කොටසකි. එබැවින් මෙය තබා ඇත්තේ ඉතාමත් ප්‍රවේශම් වන ආකාරයෙනි. කැඩුණු අස්ථියක කොටසක් මගින් මෙලෙස ස්නායු විනාශවීමට නොදී එම කොටස විවේක සුවයෙන් තබා සිටීම සමහර අවස්ථාවල සිදුවනු ඇත.
ඇඳ විවේකය ඉතාමත් අවශ්‍ය වුණත් ඒවායේ ද කරදර නැතුවා නොවේ. මේ හේතු නිසා ඇඳ විවේකය ගත යුතු වන්නේ ද වෛද්‍ය අධීක්ෂණය යටතේ මයි. ඔබ ඇවිදින විට කකුල්වල ලේ ගමන ඉතාමත් හොඳින් සිදුවේ. නමුත් ඇඳක් මත නොසෙල්වා තිබෙනවිට ලේ ගමන ටිකක් මන්දගාමී ස්වරූපයක් ගනී. එවිට ලේ කැටිගැසීමට ඉඩ තිබේ. එවැනි ලේ කැටියක් නහරයක් තුළ ඇතිවුණොත් එම කැටිය, ගලා යන ලේ සමඟ ඉහළට ඇවිත් පපුව තුළ ඇති කුඩා නහරයක්ඇතුලේ හිර වෙනු ඇත. එහි ප්‍රතිඵලය වන්නේ පපුව තුළින් ලේවලට ගමන් කළ නොහැකි වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ ශරීරයට ඔක්සිජන් එකතු කිරීම ඒ වෙලාවේම ඇනහිටීම යි. එවිට එක්වරම රෝගියා මිය යාමට වුවද ඉඩ ඇත. මෙවැනි අවස්ථාවක දී එවැන්නක් සිදුවීම වළක්වා ගැනීමට විවිධාකාර ප්‍රතිකාර වෛද්‍යවරුන් ලබා දෙනු ඇත. තවත් ගැටලුවක් වන්නේ ශරීරයේ විවිධ ස්ථාන දිගින් දිගටම ඇඳට තද වී පැවතුනනොත් සමේ තදවෙන කොටස තුවාල වීම ය. මෙවැනි දේ වළක්වා ගැනීමට පැය කිහිපයකට වරක් රෝගියා පැත්ත මාරු කළ යුතුය. නොඑසේ නම් ජලය හෝ වාතය පිරවූ මෙට්ටයක් මත රෝගියා තැබිය යුතුවේ.
මේ අනුව ඇඳ විවේකය රෝගියෙකුට ඉතා වැදගත් වනු සේම එය වෛද්‍ය උපදෙස් මත ගැනීම ද එලෙසින්ම වැදගත් වනු ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ
වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

Copy Save as…

විනිවිද සායනය