හැරී පොටර් පිය පදවි ලැබීමට සැරසෙයි

ඩැනියල් රැඩ්ක්ලිෆ් යනු ලෝකයේ තරුණ සිනමාලෝලීන් අතර අතිශයින් ජනප්‍රිය  නළුවෙකි. ඔහු ඒ ආකාරයෙන් ජනප්‍රියත්වයට පත් වූයේ සුප්‍රකට හැරී පොටර් චරිතය හරහා ය. පළමු හැරී පොටර් චිත්‍රපටයේ රඟපාද්දී වයස අවුරුදු 12 ක දරුවකු වූ ඔහුගේ දැන්  වයස අවුරුදු 33 කි.

පසුගිය දිනෙක ඩැනියල් ගැන අලුත්ම ආරංචියක් මාධ්‍ය තුළ විශාල ආකර්ශණයක් දිනාගෙන තිබූ අතර එයින් පැවසුණේ ඔහු ළඟදී ම පියකු වීමට යන බවයි. ඩැනියල් සහ ඔහුගේ ජීවිත සහකාරිය වන 38 හැවිරිදි එරීන් ඩාක් මේ වසර අවසානයේ මව්පියන් වීමට නියමිතව සිටින බවක් සඳහන් වේ. තම පවුලට තවත් අලුත් සාමාජිකයකු එක් වීමට යාම ගැන මේ දෙදෙනා මහත් සතුටට පත්ව සිටින බව ඔවුන්ගේ හිතමිතුරන් මාධ්‍ය සමග පවසා තිබිණි. මේ ගැන ඩැනියල් සහ එරීන් ඔවුන්ගේ මව්පියන්ට පසුගිය දිනවල දැනුම් දී තිබිණි.

එරීන් ඩාක් ද සිනමා නිළියකි. මේ දෙදෙනා පළමු වරට මුණ ගැසුණේ 2012 වසරේ යි. ඒ වනවිට ඔවුන් සිටියේ Kill Your Darlings නැමැති චිත්‍රපටයක රඟපාමිනි. එය ඇලන් ගින්ස්බර්ග් නැමැති ඇමරිකානු කවියකුගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ සිනමාපටයකි. එහි එම කවියාගේ චරිතය නිරූපනය කළේ ඩැනියල් ය.  එම චිත්‍රපටයේ කටයුතු අතර ආදරයෙන් බැඳුණු ඔවුහු 2013 වසරේ සිට එකට ජීවත් වෙති. නමුත් තවමත් ඔවුන් නීතියෙන් විවාහ වී නැත.


තමා දරු සුරතල් බැලීමට මහත් ආසාවෙන් සිටින බවක් පසුගිය වසරේ ඩැනියල් එක්තරා සඟරාවකට පවසා තිබිණි. එමෙන්ම ඔහු පවසන්නේ තමාගේ චිත්‍රපට රූපගත කරන තැන්වලට තම දරුවන් පැමිණෙනවාට තමා ඉතා කැමැති බවයි. නමුත් ඔවුන් තමාගේ අඩි පාරේ යමින් නළුවන් වෙනවාට ඩැනියල් වැඩි කැමැත්තක් නොදක්වන බව පෙනේ. වුවමනාවට වැඩි ප්‍රසිද්ධිය නිසා ඔවුන් කරදරයට පත් විය හැකි යයි ඔහු සිතන බවක් දැකිය හැකි වේ.

ඩැනියල් ද කලක් ‘ප්‍රසිද්ධිය’ නිසා මානසික වශයෙන් දැඩි පීඩාවට පත්ව සිටි කෙනෙකි. ඉතා කුඩා වයසේදීම අති විශාල ජනප්‍රියත්වයක් හිමි වීම ඔහුට බරක් වී තිබූ බව පෙනිණි. පසුව ඔහු ඒ නිසාම බේබද්දකු බවට පත් වූවේය. හැරී පොටර් චිත්‍රපට පෙල අවසන් වීමෙන් පසු ඔහු වරක් මේ ගැන විවෘතව අනාවරණය කළේය. එහිදී ඔහු පවසා තිබුණේ හැමෝම තමා ගැන අවධානය යොමු කරනවාය යන හැඟීම පීඩාවක් බවට පත් වූ බවයි.

‘හැමෝම මගෙ දිහා බලාගෙන ඉන්නවා කියන හැඟීමෙන් ගැලවෙන්න මට තිබුණු ලේසිම විදිය හොඳට බොන එකයි. හැබැයි ඒ විදියට හොඳට වෙරි වුණාට පස්සෙ හිතෙනවා දැන් මිනිස්සු කලින්ටත් වඩා මගෙ දිහා බලනව කියල. එතකොට ඒ හැඟීමෙන් ගැලවෙන්න තවත් බොන්න හිතෙනවා’  ඔහු පවසා තිබිණි. මේ ආකාරයෙන් මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි ඩැනියල් 2010 වසරෙන් පසු එම හානිකර පුරුද්දෙන් ගැලවෙන්නට සමත් විය.

තම දරුවන් ප්‍රසිද්ධියට පත්වෙනවාට ඩැනියෙල්ගේ වැඩි කැමැත්තක් නැත්තේ තමාගේ මෙම අත්දැකීම් නිසා ය. ‘මගේ දරුවො ප්‍රසිද්ධියට පත්වෙනවට මගේ කැමැත්තක් නැහැ’ යයි පවසන ඔහු කියන්නේ ප්‍රසිද්ධිය යනු මොන ක්‍රමයකින් හෝ වලක්වා ගත යුත්තක් බවකි.

ඩැනියල් රඟ පෑ චිත්‍රපටයක් අවසන් වරට තිරගත වූයේ පසුගිය වසරේ යි. ඒ Weird: The Al Yankovic Story නැමැති චිත්‍රපටය යි. එය ද කලා ශිල්පියකුගේ ජීවිත කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. ඩැනියල් මේ වසරේ හොඳම සජීවකරණ (Animated) සිනමාපටය ලෙස ඔස්කාර් සම්මාන දිනූ Guillermo Del Toro’s Pinocchio චිත්‍රපටයේ විධායක නිශ්පාදකයකු ලෙස ද කටයුතු කළේය.

චිත්‍රපටවලට අමතරව ඔහු රූපවාහිනි නාටකවල සහ වේදිකා නාට්‍යවල ද රඟපායි. ඔහුගේ පළමු රංගනය ඇතුළත් වූයේ ද රූපවාහිනි නාටකයක ය. බීබීසී ආයතනය නිශ්පාදනය කළ එය චාල්ස් ඩිකන්ස්ගේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි. ඩැනියල් එහි රඟපාද්දී වයස අවුරුදු 10 කි. 2007 වසරේ සිට ඔහු වේදිකා නාට්‍යවල ද රඟපායි.

ඩැනියල්ගේ සහකාරිය වන එරීන් ඩාක් වඩාත්ම අවධානයට ලක් වූයේ Good Girl Revolt  නැමැති රූපවාහිනි මාලා නාටකයකිනි. එය ප්‍රදර්ශණය වූයේ 2015 වසරේ යි. මෑතක ප්‍රදර්ශණය වූ ද මාවලස් මිසිස් මේසල් The Marvelous Mrs. Maisel  නැමැති මාලා නාටකයක ද ඇය ප්‍රධාන චරිතයක් නිරූපනය කළාය.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්