19 වැනිදා සිට ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියැදුරන් මෙන්ම සියලුම මඟීන් ආරක්ෂක ඛඳපටි පැලඳීමේ නීතිය ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නීතිය වසරකට ආසන්න කාලයක් පුරා වරින්වර ක්‍රියාත්මක කිරීම කල් දැමුණු බැවින් නැවත කිසිසේත් කාලය දීර්ඝ කිරීමක් නොවන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පවසයි.

නිෂ්පාදකයන් විසින් වාහනවල මැද ආසන සහ පසුපස ආසනවල ආසන පටි සකස් කර නොමැති වාහනවල ඒවා විධිමත්ව සකස් කර ගැනීම සඳහා මෙම සහන කාලය ලබා දුන් බවද ඔහු කියයි.මෙම සහන කාලය සීමාව ඉකුත් ජුනි මස 19 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණද විවිධ පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත ලබන මස 19වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

එමනිසා තවදුරටත් එම කාල සීමාව දීර්ඝ කිරීමට බලාපොරොත්තු නොවන බවත්, ලබන මස 19 වැනිදා සිට මෙම නීතිය පිළිනොපඳින සියලු දෙනා දඩයකට යටත් වන බවත් හෙතෙම අවධාරණය කරයි.

ඒ අනුව ලබන මස 19වැනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන රියැදුරන් පමණක් නොව සියලුම මඟීන් ද මෙම නීතියට යටත් වන අතර එය කඩ කරන්නේ නම් මඟියාටද දඩ මුදල් නියම වෙන බවත් සභාපති මංජුල කුලරත්න පවසයි.

කාලීන පුවත්