2023 වසරේ ලොවටම දැනුණු සිදුවීම් මෙන්න

අධික අවුරුද්දකට දොරගුළු විවර කරමින් 2023 වසර ගෙවී ගියේ අපට ද නොදැනීය. ශ්‍රී ලංකාවට මේ වසර යහපතක් යැයි පවසන්නට තරම් කාරණා නැති තරම්ය. අහස උසට බඩු මිල ඉහළ යාම, මැතිවරණ කල් දැමීම, බදු වැඩි වීම, ක්‍රිකට් තහනම, රටම එකවර අඳුරේ තබමින් ඇති වූ විදුලිය ඇනහිටීම වැනි සිදුවීම් මේ වසර තුළ කැපී පෙනුණි. ගෙවී ගිය 2023 ලෝකය සම්බන්ධයෙන් ද පැවතියේ මිශ්‍ර ප්‍රතිඵලයකි. විනාශකාරී භූමිකම්පා, නිමාවක් නැති යුද්ධ වැනි ස්වාභාවික මෙන්ම මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ව්‍යසනයන්ගේ ප්‍රතිඵල අත්විඳි වසරක් ලෙස 2023 දෙස බැලිය හැකිය. 2024 වසර උදාවන්නට පෙර මොහොතක් ආපසු ගොස් මේ එබී බලන්නට උත්සාහ දරන්නේ ඒ පිළිබඳවය.

2023 ජනවාරි

  • ඇෆ්ගනිස්තානයේ ශීඝ්‍ර උෂ්ණත්ව පහල බැසීම

2023 ජනවාරි 10 වැනිදා ඇෆ්ගනිස්තානයේ පැය 24 ක් තුළ ඉතා වේගයෙන් සිදු වූ උෂ්ණත්ව පහල බැසීම නිසා කඳුකර ප්‍රදේශවල වාසය කළ 160 දෙනෙකු මරුමුවට පත් වූ අතර ගොවි බිම්වල සිටි සතුන් 80,000 ක් පමණ විනාශයට පත් විය. මෙහිදී පතිත වූ හිම නිසා ඇති ඇති වූ ස්තරය සෙන්ටිමීටර් 30 ක් පමණ විය.

  • නේපාල ගුවන් අනතුර

2023 ජනවාරි 15 වැනිදා නේපාලයේ කත්මන්ඩු සිට පොඛාරා දක්වා ගමන් කරමින් පැවති Yeti Airlines Flight 691 යානය ගොඩ බෑමේ දී අනතුරට පත් වීම නිසා එහි ගමන් ගත් 72ක් වූ සියලු මගීන් මරණයට පත් විය.

  • පකිස්තානු බෝම්බ ප්‍රහාරය

2023 ජනවාරි 30 වැනිදා පකිස්තානයේ පෙෂාවොර් හි අධි ආරක්ෂිත කලාපයක පැවති මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් එහි සිටි 84 දෙනෙකු මරණයට පත් විය.

2023 පෙබරවාරි

  • ෆ්‍රෙඩී සුළි කුණාටුව

පෙබරවාරි 5 වැනිදා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වූ ෆ්‍රෙඩී, ගෙවී ගිය ඉතිහාසය තුළ වැඩිම කාලයක් පැවති සුළි කුණාටුව ලෙස වාර්තාගත වූ අතර එහි දී 1,400 ක් පමණ මරණයට පත් විය.

  • තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පා

පෙබරවාරි 6 වැනිදා දිනය ආරම්භ වූයේ තුර්කියට සහ අසල්වැසි සිරියාවට මහත් විනාශකාරී භූමිකම්පා මාලාවක් ඇති කරමිනි. ගොඩනැගිලි දහස් ගණනක් සුන්බුන්ව ගිය අතර මිනිසුන් දහස් ගණනක් ඒවා තුළ සිර වූහ. තුර්කි නගරයක් වූ ඇන්ටාක්යා රිච්ටර් පරිමා 7.8 ක් සහ 7.7 තරම් ප්‍රබල චලනයන් දෙකකට මුහුණ දුන්නේය. මෙය 1939 වසරෙන් පසු තුර්කියේ ඇති වූ විශාලතම භූමිකම්පාව සේ සැලකේ. මෙහිදී දකුණු සහ මධ්‍යම තුර්කියේ මිනිසුන් 59,000 ක් මිය ගිය අතර 8,000 කට උන් හිටි තැන් අහිමි විය. එරට ඓතිහාසික නගර දෙකක් වූ සන්ලියුර්ෆා සහ ඇලෙප්පෝ ද මෙහිදී දැඩි විනාශයකට ලක් විය.

  • පෙට්‍රල් සහ ඩීසල් වාහන අළෙවිය යුරෝපය තුළ තහනම් කිරීමේ යෝජනාව

2035 වසරේ සිට යුරෝපය තුළ පෙට්‍රල් සහ ඩීසල් වාහන අළෙවිය තහනම් කිරීමේ යෝජනාවක් යුරෝපීය පාර්ලිමේන්තුව තුළ සම්මත විය. දිනෙන් දින ඉහළ යන පරිසර දූෂණය අවම කර ගැනීමේ අරමුණින් මෙය ඉදිරිපත් කරනු ලැබිණි.

  • ග්‍රීසියේ දුම්රිය අනතුර

පෙබරවාරි 28 වැනිදා ග්‍රීසියේ තෙසාලි හි සිදු වූ දුම්රිය අනතුරකින් 57 දෙනෙකු මිය ගිය අතර තවත් බොහෝ දෙනෙකු තුවාළ ලැබූහ. මෙයින් පසුව ග්‍රීසියේ දුම්රියවල තත්ත්වය සහ වැරදි කළමනාකරණයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් විය.

2023 මාර්තු

  • කෘත්‍රිම බුද්ධිය සහිත ChatGPT දියත් වීම

මාර්තු 14 වැනිදා කෘත්‍රිම බුද්ධිය සහිත දැවැන්ත භාෂා මොඩලයක් වූ ChatGPT දියත් විණි. පරිශීලකයා විසින් ඉල්ලා සිටින බොහෝ කාරණාවලට තාර්කික විසඳුම් ලබා දීමට මේ කෘත්‍රිම බුද්ධි පද්ධතියට හැකියාව ඇතැයි පැවසේ.

  • කාන්තාවන් බවට පත් වූ පිරිමින්ට ක්‍රීඩා තහනම

පිරිමියකු ලෙස වැඩිවියට පත් ව පසුව කාන්තාවන් බවට පත් වන පිරිමින්ට, කාන්තා ක්‍රීඩා තරග ඉසව්වලට ඉදිරිපත් වීමේ තහනමක් මාර්තු 23 වැනි ලෝක මළල ක්‍රීඩා සංගමය විසින් පනවනු ලැබිණි.

2023 අප්‍රේල්

  • යේමනයේ පෑගීමෙන් සිදු වූ මරණ

අප්‍රේල් 19 වැනිදා යේමනයේ සනා හි රාමසාන් සැමරීමක් අතරතුර සිදුවූ තදබදය නිසා පෑගීම හේතුවෙන් 90 දෙනෙක් මරුමුවට පත් වූ අතර 322 ක් තුවාල ලැබූහ.

  • විශාලතම සහ බලගතුම රොකට් යානය විනාශ වීම

මෙතෙක් ගොඩනගන ලද විශාලතම සහ ප්‍රබලතම SpaceX’s Starship රොකට් යානාව අප්‍රේල් 20 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි දී අත්හදාබැලීමක් ලෙස ප්‍රථම වරට ගුවන් ගත කරනු ලැබූ අතර මිනිත්තු 4 කට පසුව පුපුරා විනාශ වී ගියේය.

  • කෙන්යාවේ සමූහ දිවි නසා ගැනීම

අප්‍රේල් 25 වැනිදා කෙන්යාවේ ෂකාහෝලා වනාන්තරයේ දී Good News International Ministries සංවිධානයේ අනුගාමිකයන් 429 දෙනෙක් ගෙල කපා ගැනීමෙන් සිය දිවි නසා ගෙන තිබූ අතර 613 දෙනෙකු අතුරුදහන් වූ බව වාර්තා විණි.

2023 මැයි

  • ඇමරිකාවේ දෙවැනි බැංකුවත් බංකොලොත් වීම

ඇමරිකාවේ First Republic Bank බැංකුව මැයි 1 වැනිදා බංකොලොත් විය. මේ වසර මුල දී ඇමරිකාවේ සිලිකන් වැලී බැංකුවේ බංකොලොත් වීමට වඩා වැඩි පාඩුවක් මෙහි දී සිදු විය.

  • කොවිඩ් තවදුරටත් ලෝක වසංගතයක් නොවීම

කොවිඩ් යනු තවදුරටත් ලෝක වසංගතයක් නොවේ යැයි මැයි 5 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලැබිණි.

  • චාල්ස් රජ වීම

චාල්ස් කුමරා එක්සත් රාජධානියේ තුන්වැනි චාල්ස් රජු ලෙස ඔටුනු පැලඳීම හා කැමිලා ඔහුගේ බිසව ලෙස අභිෂේක ගැන්වීම මැයි 6 වැනිදා සිදු විය.

  • මොකා සුළි කුණාටුව

මැයි 9 වැනිදා ඉන්දීය සාගරයට ඇතුළු වී මොකා සුළි කුණාටුව නිසා මියන්මාරයේ සහ බංග්ලාදේශයේ 400 දෙනෙකුට වැඩි පිරිසක් මරණයට පත් වූ අතර 700 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

2023 ජූනි

  • ඉන්දියාවේ දුම්රිය අනතුර

ඉන්දියාවේ ඔඩිෂාහි සිදු වූ දුම්රිය කිහිපයක් එකිනෙක ගැටීමේ අනතුරින් 296 දෙනෙකු මරණයට පත් වූ අතර 1,200 ක් පමණ තුවාල ලැබූහ.

  • කෘත්‍රිම මිනිස් කලලය නිපදවීම

ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් රහිතව මිනිස් පටකවල ඇති ‘ස්ටෙම්’ නම් සෛලයකින් පමණක් කෘත්‍රිම මිනිස් කලලයක් නිපදවන්නට හැකි වූ බව ජූනි 14 වැනිදා ඇමරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.

  • ටයිටැන් සබ්මැරිනයේ විනාශය

සබ්මැරිනයක් යැයි පැැවසුණ ද සැබවින්ම මුහුදේ කිමිදීම උදෙසා සකස් කරන ලද කුඩා යාත්‍රාවක් වූ ටයිටැන් ජූනි 18 වැනි උතුරු අත්ලාන්තික් සාගරයේ දී විනාශයට පත් විය. අඩි 12,000 ක් ගැඹුරු මුහුදේ තැන්පත්ව ඇති වසර 111 ක් පැරණි ටයිටැනික් යාත්‍රාවේ සුන්බුන් නරඹන්නට ලෝකයේ ධනවතුන් කිහිප දෙනෙකු රැගෙන යමින් සිටිය දී මේ විනාශය සිදු විය. දින කිහිපයක් සෙවීමෙන් පසු මේ යාත්‍රාවේ සුන්බුන් සොයා ගන්නට හැකි විය. මේ යාත්‍රාව ගොඩ නැංවූ ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්, ගැඹුරු මුහුදේ ගවේෂණ කටයුතු සම්බන්ධ විශේෂඥයකු මෙන්ම ටයිටැනික් නෞකාව පිළිබඳ විශේෂඥයකු වූ ප්‍රංශ ජාතික හෙන්රි නාර්ජුලේ, බ්‍රිතාන්‍ය ජාතික කෝටිපතියකු වූ හමිෂි හාර්ඩින්, පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයකු වූ සසාඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත්‍රයා වූ සුලේමාන් මේ අනතුරින් මිය ගියහ.

  • වැග්නර් කණ්ඩායම රුසියාවට එරෙහි වීම

රුසියානු – යුක්රේන යුද්ධයේ දී, යෙව්ගිනි ප්‍රිගොසින්ගේ නායකත්වයෙන් යුක්තව රුසියාවට සහාය දුන්, වැග්නර් කුලී හමුදාව රුසියාවට එරෙහි වීම ජූනි 23 වැනිදා සිදු විය.

2023 ජූලි

  • ඊශ්‍රායාලය විසින් බටහිර ඉවුර ආක්‍රමණය කිරීම

දෙවැනි ඉන්ටිෆාඩා යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය විසින් බටහිර ඉවුරේ සිදුකරන ලද දැවැන්තම ආක්‍රමණය ජූලි 3 වැනිදා සිදුවිය. මෙය ටෙල් අවිව් හි දී හමාස් සංවිධානය විසින් කරන ලද පහර දීමක් නිසා සිදු වූ මරණ 9 කට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සිදු කරන ලද්දකි.

2023 අගෝස්තු

  • සවුදි අරාබිය විසින් අනවසර ඇතුළු වන්නන් මරා දැමීම

අගෝස්තු 21 වැනිදා යේමන දේශ සීමාව ඔස්සේ සවුදි අරාබියට ඇතුළු වන්නට උත්සාහ කළ අප්‍රිකානු ජාතිකයන් සිය ගණනක් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් සවුදි අරාබියට චෝදනා එල්ල කෙරිණි.

  • ඉන්දියාව සඳ තරණය කිරීම

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානය අගෝස්තු 23 වැනිදා සඳෙහි උතුරු කොටස මත සාර්ථක ලෙස ගොඩ බසින ලදී.

  • වැග්නර් නායකයාගේ මරණය

අගෝස්තු 23 වැනිදා රුසියාවේ සිදු වූ ගුවන් අනතුරකින් රුසියානු කුලී හමුදා නායකයකු වූ යෙව්ගිනි ප්‍රිගොසින් ඇතුළු කිහිප දෙනෙක් මරණයට පත් විය.

2023 සැප්තැම්බර්

  • ඉන්දීය ප්‍රථම සූර්ය ගවේෂණ යානය

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් සිය ප්‍රථම සූර්ය ගවේෂණ යානය වූ Aditya-L1 සාර්ථකව අභ්‍යවකාශ ගත කරනු ලැබිණි.

  • මොරොක්කෝවේ භූමිකම්පාව

රිච්ටර් පරිමාණ අගය 6.9ක් ප්‍රබලත්වයකින් යුක්තව මොරොක්කොවේ මරාකෙෂ් ෂාපි කලාපයේ සැප්තැම්බර් 8 වැනිදා සිදු වූ භූමිකම්පාව නිසා අවම වශයෙන් 2,960 දෙනෙකු මරණයට පත් වූ අතර ඓතිහාසික ගොඩනැගිලි බොහොමයක් විනාශ විය.

  • ලිබියාවේ ඩැනියෙල් කුණාටුව

සැප්තැම්බර් 10 වැනිදා ලිබියාවේ ඩෙර්නා හි ඇති වූ ඩැනියෙල් සුළි කුණාටුව නිසා අවම වශයෙන් 5,000 ක්වත් මරණයට පත් වූ අතර 100,000 ක පමණ පිරිසක් අතුරුදහන්වූ බව වාර්තා වේ. වේලි දෙකක් බිඳී යාම නිසා නගරයෙන් හතරෙන් පංගුවක් සම්පූර්ණයෙන්ම විනාශ විය.

  • ලොව පැරණිතම දැව ආකෘතිය

සැම්බියානු පුරා විද්‍යාඥයින් පිරිසක් ලොව ඉපැරණිතම දැව ආකෘතිය සොයා ගත් බව සැප්තැම්බර් 20 වැනිදා ලෝකය හමුවේ එළි දරව් කරනු ලැබිණි. කාබන් දාතම තාක්ෂණය ඔස්සේ සොයා ගෙන ඇති පරිදි මෙය වසර හාරලක්ෂ හැත්තෑහය දහසක් ඉපැරණි වන අතර මෙය එකක් අනෙකට ලම්බකව සවි කර ඇති තට්ටුවකින් සම්බන්ධ කර ඇති අන්තර් සම්බන්ධිත ලී කොට දෙකකින් සමන්විත වේ.

2023 ඔක්තෝබර්

  • ඊශ්‍රායල් – හමාස් ගැටුමේ ආරම්භය

හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයත් සමග තවමත් අවසන් වී නොමැති ඊශ්‍රායල් – හමාස් යුද්ධය ආරම්භ විය.

  • ඇෆ්ගනිස්තානයේ භූමිකම්පාව

ඔක්තෝබර් 7 වැනිදා ඇෆ්ගනිස්තානයේ හේරාත් පළාතේ ඇති වූ භූමිකම්පාව නිසා දහසකට අධික පිරිසක් මරණයට පත් වූ අතර 2000 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

2023 නොවැම්බර්

  • ලෝක උෂ්ණත්වය ඉහළ නැගීම.

ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වාර්තාගත ඉතිහාසයේ පළමු වරට අංශක දෙකකින් තාවකාලිකව ඉහළ නැගි බව වාර්තා විය.

  • ලෝක ක්‍රිකට් තරගාවලිය

2023 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජයට පත් කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය.

2023 දෙසැම්බර්

  • කුවේට් හි එමීර්වරයාගේ මරණය

දෙසැම්බර් 16 වැනිදා කුවේට් හි එමීර්වරයා වූ නවාෆ් අල්-අහ්මඩ් අල්-ජබේර් අල්-සබාහ් 86 වැනි වියේ පසුවෙද්දී මරුණයට පත් විය. ඔහුගේ මරණින් පසු සිය අඩ සොහොයුරා වූ මිෂාල් අල්-අහ්මඩ් අල්-ජබේර් අල්-සභාහ් නව එමීර්වරයා ලෙස පත් විය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර