සුරතල් සතුන් ගෙනුත් රෝග සුවය

vinivida

සුරතලයට සතුන් ඇති කිරීම ලෝකය පුරාම වාගේ දැකිය හැකි දෙයක්. මනුෂ්‍යයන් මෙලෙස සතුන් ඇති කිරීමට පුරුදු වී තිබෙන්නේ ශිෂ්ටාචාරගත වීමටත් පෙර සිටම බව පැවසෙනවා. පූර්ව ශිලා යුගයේ සිටමත් මේ පුරුද්ද මානවයන් අතර තිබූ බවට තහවුරු වූ සාක්ෂි තිබෙනවා.
ශිෂ්ඨාචාරගත වූ පසුවත් මනුෂ්‍යයන් තුළ ඒ පුරුද්ද නැති වුණේ නෑ. දිගින් දිගටම මේ දක්වාමත් සුරතලය⁣ට සතුන් ඇති කිරීම මිනිසුන් විසින් සිදු කරනු ලබනවා.
මේ කියන්න යන්නේ සුරතල් සතුන් සම්බන්ධයෙන් ඔබ හිතනවාට වඩා වෙනස් කතාවක්. 1950 දශකයේ ජීවත් වූ ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන බෝරිස් ලෙවින්සන් ඉතා අහඹු ලෙස සොයාගත් එක්තරා දෙයක් නිසා අලුත් පර්යේෂණවලට මග පෑදුණා. ඒ තමයි සුරතල් සතුන් ඇසුරු කිරීම තුළින් බොහොමයක් ලෙඩ රෝග සුව කර ගත හැකි බව. ඔටිසම් රෝගයෙන් පෙළෙන එක්තරා දරුවකුට ඔහුගේ සුරතල් සුනඛයාගේ මිණි ගෙඩිය සෙලවෙන නාදය නිතර ඇසීම නිසා එම දරුවා සුවපත් වීමේ ප්‍රගතියක් පෙන්නුම් කළ බව මනෝ විද්‍යාඥ ලෙවින්සන්ට අවබෝධ කර කරගත හැකි වුණා. ඉන්පසු විශේෂයෙන් ඇමරිකාවේ ලෙඩ රෝග සුව කර ගැනීම සඳහා සතුන්ගේ උපකාරය ගැනීම සිදුවුණා. එය මේ දක්වාමත් පවතින දෙයක්. මේ වන විට ඔවුන් ඒ සම්බන්ධ නොයෙකුත් සංගම් පවා පිහිටුවාගෙන තිබෙනවා. ඔවුන්ගේ අදහස වන්නේ යම් රෝගියකුට සුරතල් සතකු සිටී නම් එම රෝගියාගේ සුව වීම ඉක්මන් වන බවයි.

ඇමරිකානුවන් විසින් 1970 දශකයේදී සතුන්ගේ උපකාරයෙන් රෝග සුව කිරීම සඳහා ඩෙල්ටා නමින් සංගමයක් ද පිහිටුවා ගැනුණා. මෙහිදී වැඩි වශයෙන්ම ප්‍රතිකාර සඳහා යොදා ගත්තේ සුනඛයන්වයි. ඒ හැරුණු විට බළලුන්, කුරුල්ලන්, හාවන්, බූරුවන්, ලාමා සතුන් ආදිය යොදාගෙන තිබූ අතර මීට අමතරව තවත් සමහර අවස්ථාවලදී ඌරන් සහ සර්පයන්ද පුහුණු කර ලෙඩ රෝග සුව කිරීම සඳහා යොදා ගත් බව පැවසෙනවා.
මෙම සංගමය විසින් සිදු කරන ලද පර්යේෂණ මගින් යම්කිසි පුද්ගලයෙක් සුරතල් සතෙකු ස්පර්ශ කරන විට හෝ අඩුම තරමින් දකින විට පවා සිරුරේ සෞඛ්‍ය සම්පන්න භෞතික හා ආධ්‍යාත්මික වෙනස්කම් රැසක් සිදුවෙන බව අනාවරණය කර ගැනුනා. ඒවා අතරින් පහත දැක්වෙන කරුණු කිහිපය සුවිශේෂයි.

* රුධිර පීඩනය පහළ බැසීම
* මානසික සන්සුන් බවක් ඇතිවීම
* සමාජශීලී වීම සහ කතාබහ කරන ස්වභාවය වැඩිවීම
* සිතෙහි ඇති ද්වේෂ සහගත සිතිවිලි අඩුවීයාම
* තනිකම, පාළුව අඩුවී යාම
* ජීවිතයේ සිදුවන විවිධ වෙනස්කම්වලට ධනාත්මක මනසකින් මුහුණදීමට හුරු වීම

ඇමෙරිකානු සමාජ සේවිකාවක් වන සුසාන් ලී බාඩි මෙවැනි ප්‍රතිකාර කටයුතුවල යෙදෙන්නියක් වන අතර ඇය ඒ සඳහා යොදා ගන්නේ තමාගේ සුරතල් බළලුන් දෙදෙනා යි.
බළලකු සුරතල් කරමින් සිටි එක් රෝගියෙකු පෙර සිටියාට වඩා සන්සුන් බවට පත්වී සිටින අයුරු බාඩි එක් අවස්ථාවක දුටුවා. එම බළලා රෝගියාගේ උකුලට පැන රෝගියා සමග සුරතල් වෙන්නට වූ අවස්ථාවක රෝගියාගේ මානසික තත්ත්වය බොහෝ සංසුන් වූ බවයි බාඩි පවසන්නේ.
මානසික ආතතිය සේම, මානසික ව්‍යුහය සමඟ සෘජු සම්බන්ධකම් දක්වන කායික රෝග වන අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධිකොලොස්ට්‍රෝල්තාවය ආදී සියලු රෝග මානසික සමතුලිතතාවය මගින් බොහෝ දුරට වළක්වා ගත හැකි බව පවසන ඩෙල්ටා සංවිධානය මේ මානසික සමතුලිතතාවය ඇති කරන්නට විශාල මෙහෙයක් සුරතල් සතුන්ගේ ඇසුර මගින් ලැබෙන බව අනාවරණය කරගෙන තිබෙනවා.

කිසිවෙකු සමගවත් කතා කරන්නට කැමැත්තක් නොදැක් වූ එක් රෝගියෙකු අතට බාඩි බළලකු සුරතල් කරන්නට දුන්නේ රෝගියා එම තත්ත්වයෙන් මුදවා ගැනීමේ උපක්‍රමයක් අත්හදා බැලීමට යි. පසුව ක්‍රමයෙන් එම රෝගියා කතා කරන්නට පටන් ගත් බව බාඩි සඳහන් කරනවා. එය කොතරම් සාර්ථක වූයේ දැයි කිවහොත් සමහර රෝගීන් බාහිර කිසි කෙනෙකු සමග පවසන්නට අකමැති වූ තම සිතිවිලි පවා මෙම සුරතල් සතුන් ඇසුරු කිරීමෙන් පසු හෙළි කරන්නට පෙළඹී තිබෙනවා.

අප ඇති දැඩි කරන සුරතල් සතුන් නිරෝගීව තබා ගැනීම අපගේ වගකීමයි. සතුන්ගේ නිරෝගී බවට වැදගත්වන විටමින් ඩී අවශ්‍යතාවය ගැන අපි දැන් විමසා බලමු.
සුරතල් සතුන්ගේ සමේ හටගන්නා සමහර රෝග වලක්වා ගැනීමට විටමින් ඩී ඉතා වැදගත් වෙනවා. මනුෂ්‍යයන් වන අපගේ මෙන්ම සුනඛයන් බළලුන් ආදී සතුන්ගේද විටමින් ඩී අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් සපයනු ලබන්නේ උදෑසන හිරු එළියයි. ස්වභාවිකව ලැබෙන හිරු එළිය අපේ සිරුරට පතිත වූ සැණින් සිරුර තුළ සිදුවන ප්‍රතික්‍රියාවක් හේතුවෙන් විටමින් ඩී නිපදවීම සිදුවෙනවා.

නමුත් සුනඛයන් බළලුන් වැනි සතුන්ට විටමින් ඩී නිපදවා ගැනීම අපට තරම් පහසු නෑ. ඒ, අපගේ මෙන් නොව සතුන්ගේ සිරුරේ ලොම් පිරී ඇති නිසයි . මෙම ලොම් නිසා ඔවුන්ගේ සිරුරු හිරු එළියට එතරම් පහසුවෙන් නිරාවරණය වන්නේ නෑ. රෝම අධික සමහර සුනඛ ප්‍රභේදවල මේ තත්ත්වය මීටත් වඩා තදින් බලපානවා . මිනිසුන්ට සාපේක්ෂව සතුන් අතර විටමින් ඩී ඌණතාව හට ගන්නට ප්‍රධාන හේතුව එයයි.
සමේ රෝග වළක්වා ගැනීමට අමතරව සමේ හටගන්නා තුවාල ඉක්මනින් සුව කිරීමේ හැකියාව මෙන්ම පිළිකා රෝග තත්ත්වයන් අවම කර ගැනීමේ හැකියාව ද විටමින් ඩී හේතුවෙන් සමට ලැබෙන වාසි ලෙස දක්වන්න පුළුවන්.

ඊට අමතරව විටමින් ඩී හේතුවෙන් සැලසෙන තවත් ප්‍රධානතම වාසියක් වන්නේ ඉන් අස්ථිවලට සිදුවන බලපෑමයි. අස්ථි වර්ධනයට සහ ඒවායේ ශක්තිමත් බවට හේතු වන්නේ කැල්සියම් ඛණජ ලවණයයි. කොතරම් කැල්සියම් අඩංගු ආහාර අනුභව කළත් ඒවා ආහාර මාර්ගය තුළින් සිරුරට අවශෝෂණය වීමට නම් විටමින් ඩී අත්‍යවශ්‍යයි. එබැවින් විටමින් ඩී ඌණතාවයෙන් පෙළෙන විට කැල්සියම් නිසි පරිදි සිරුරට අවශෝෂණය නොවීම හේතුවෙන් අස්ථිවල ගැටලු පැන නගින්නට පුළුවන්. සතුන් වැඩෙන කාලයේ අස්ථි වර්ධනයද වැඩියෙන් සිදුවන නිසා ඊටමින් ඩී අවශ්‍යතාවය කුඩා කාලයේ වැඩිපුර පැවතිය හැකියි.

එසේ නම් හිරු එළිය මගින් ප්‍රමාණවත් පරිදි විටමින් ඩී නොලැබෙන විට කළ යුත්තේ කුමක්ද?
විටමින් ඩී ඉතා හොඳින් ලබාගත හැකි ක්‍රමය හිරු එළිය වුවත් ආහාර මගින්ද විටමින් ඩී සිරුරට එක් කර ගත හැකියි. සෝයා වැනි ධාන්‍ය වර්ග, සැමන් ටූනා වැනි මාළු වර්ග, පීකුදු, කිරි, චීස්, බිත්තර කහමදය වැනි ආහාර මගින්ද විටමින් සිරුරට ලබාදීමට හැකියි.
රෝම ගහනය ඉතා වැඩි සතුන්ගේ රෝම මඳක් කෙටි කිරීම සහ සතුන් කූඩු තුළ දමාගෙන නොසිට විශේෂයෙන් උදෑසන හිරු එළියට නිරාවරණය වන පරිදි පිටතට රැගෙන යාමද කළ යුතුයි.

පශුවෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

සැකසුම – ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය