රටට මීළඟට අවශ්‍ය වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ආර්ථික හා දේශපාලන මාවතේම ඉදිරියට යන නායකයෙකු නොව, ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විකල්ප මාවතකට රට යොමු කළ හැකි නායකයෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා අවධාරණය කළේ, එළඹෙන 2029 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමේ සූදානමක් පවතින බවයි.ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට අවශ්‍ය සුදුසුකම් තමන් සපුරා ඇති නමුත්, ඒ පිළිබඳ අවසන් තීරණය ගත යුත්තේ රටේ පොදු ජනතාව විසින් බව ද වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තමන් සතු විකල්ප ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් හිටපු අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.”අපි බලයට පත්වුණොත් වත්මන් රජය ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි කොන්දේසි සහිත ගිවිසුම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඒ වෙනුවට රුසියාව, චීනය සහ ඉන්දියාව වැනි ප්රමුඛ ලෝක බලවතුන් සාමාජිකත්වය දරන ‘බ්‍රික්ස්’ (BRICS) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කරනවා. එම ප්‍රබල රටවල සහයෝගය සහ ආධාර ඇතිව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටලුවලට ස්ථිරසාර සහ දේශීයත්වයට ගැලපෙන විසඳුම් ලබා දීමට අපට පුළුවන්.”