2030 වන විට අධිවේගී මාර්ග පද්ධතියට කි.මී. 132ක්;සියලු වියදම් දේශීය අරමුදල්වලින්

රජයේ උපාය මාර්ගික සංවර්ධන සැලසුම්වලට අනුව 2030 වසර අවසන් වන විට මෙරට ජාතික අධිවේගී මාර්ග පද්ධතියට අලුතින් කිලෝමීටර් 132ක් එක් කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.අධිවේගී මාර්ග ව්‍යාපෘති හතරක ඉදිකිරීම් අවසන් වීමත් සමඟ මෙම නව කිලෝමීටර් 132 ජාතික මාර්ග පද්ධතියට එක්වීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.ඒ අනුව, මේ වන විට ඉදිකිරීම් මට්ටමේ පවතින ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට රජය තීරණය කර ඇත.මධ්‍යම අධිවේගී මාර්ගයේ (Central Expressway) පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කිලෝමීටර් 37ක කොටස සහ එහි තෙවන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කිලෝමීටර් 33ක කොටස මෙම වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබා දී නිම කිරීමට අපේක්ෂිතය.මධ්‍යම අධිවේගී මාර්ගය අවසන් වීමත් සමඟ කොළඹ සිට මහනුවර දක්වා ගමන් කාලය පැය එකහමාරක් දක්වා අඩු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.මීට අමතරව, යෝජිත කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස වන කුරුණෑගල – ගලේවෙල මාර්ගයේ ඉදිකිරීම් 2026 වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.කිලෝමීටර් 38ක දුරකින් යුත් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 233ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.එම ව්‍යාපෘතිය විනිවිදභාවයකින් යුත් තරගකාරී මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවා, පැකේජ 12ක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම්වල සේවා දායකත්වයෙන් කඩිනමින් නිම කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.එසේම, දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී තිබූ රුවන්පුර අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 24ක කොටසක ඉදිකිරීම් ද මේ වසර තුළදීම ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.මෙම ව්‍යාපෘතිවල ඇති විශේෂත්වය වන්නේ, රජයේ උපාය මාර්ගික සංවර්ධන සැලසුම්වලට අනුකූලව ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රජයේ දේශීය අරමුදල් පමණක් මේ සඳහා වැය කිරීමට තීරණය කර තිබීම බව ද ඔහු අවධාරණය කළේය.ඒ අනුව විදේශීය ණය මත යැපීමකින් තොරව දේශීය ශක්තියෙන් මෙම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ වී තිබේ.

කාලීන පුවත්