22 වන ව්‍යවස්ථා සංශෝධනය “අපායට යන පාර සුද්ද කිරීමේ ශ්‍රමදානයක්”

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීමේ සැබෑ අරමුණ නඩු ප්‍රමාදය වැළැක්වීම හෝ දූෂණ නඩු කඩිනම් කිරීම නොව, ආණ්ඩුවේ නව ලිබරල් වැඩපිළිවෙළට ඇති බාධා ඉවත් කිරීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
ඊයේ (23) කොළඹ විජේරාම මාවතේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නඩු ප්‍රමාදයට විසඳුමක් නොවන බවයි.
වංචා හා දූෂණ නඩු බහුතරයක් මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වන බැවින් නඩු ගොඩගැසීම වැළැක්වීමට එම අධිකරණවල ධාරිතාව වැඩි කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
ජයගොඩ මහතා චෝදනා කළේ ආණ්ඩුව කම්කරු නීති සංශෝධන, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය, කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් ඇතුළු ජනතා විරෝධී බවට ඔහු හඳුන්වන වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.
එම වැඩපිළිවෙළට එරෙහිව කම්කරුවන්, ගොවීන්, ධීවරයන් ඇතුළු ජනතා බලවේග ගන්නා නෛතික හා උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පාලනය කිරීම සඳහා විධායක බලය ශක්තිමත් කිරීම ආණ්ඩුවේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.
පෙර පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද නව ලිබරල් මාර්ගයක ගමන් කරමින් සිටින බව පැවසූ පුබුදු ජයගොඩ මහතා 22 වන ව්‍යවස්ථා සංශෝධනය එම මාර්ගයේ ඇති “මාර්ග බාධක” ඉවත් කිරීමක් ලෙස හැඳින්වීය.
එය “අපායට යන පාර සුද්ද කිරීමේ ශ්‍රමදානයක්” ලෙස විවේචනය කළ ඔහු, මෙම ක්‍රියාමාර්ග පරාජය කර තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට ජනතාව එක්වන ලෙසද ඉල්ලා සිටියේය.

කාලීන පුවත්