ශ්‍රී ලංකාවේදී 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය නිරීක්ෂණය කළ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරූ මහතා, එම නිරීක්ෂණ සම්බන්ධයෙන් වාර්තාවක් එම සංගමයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.ස්ටීවන් තිරූ මහතා සැප්තැම්බර් 2 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති පෙත්සම් විභාගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, නඩු විභාගයේ ඇතැම් ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් තමන්ට සහ මෙරට නීතිඥ ප්‍රජාවේ ඇතැම් පිරිස්වලට බරපතළ අවධානයක් යොමුව ඇති බවයි. එම නිරීක්ෂණ මත පදනම්ව සංගමය විසින් වාර්තාවක් සකස් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබේ.විශේෂයෙන්ම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම සම්බන්ධ විය හැකි වැදගත් ව්‍යවස්ථාමය කරුණක් විභාග කිරීම සඳහා පූර්ණ හෝ පුළුල් විනිසුරු මඬුල්ලක් පත් නොකිරීම පිළිබඳව තිරූ මහතා ප්‍රශ්න කර තිබේ. ඔහු පෙන්වා දී ඇත්තේ මෙවැනි වැදගත් ව්‍යවස්ථාමය නඩු සාමාන්‍යයෙන් පුළුල් විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීම ජාත්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන ක්‍රමවේදයක් බවයි.මෙවර පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැති අතර, 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 67ක් ඉදිරිපත් වී තිබිණි. එම විභාගය දින දෙකක් පුරා පැවැති අතර, අවසානයේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අධිකරණයේ රහස් තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.එමෙන්ම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ට අනෙකුත් පාර්ශ්වයන්ගේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචිකව ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා නොදීම පිළිබඳවද තිරූ මහතා සිය අවධානය යොමු කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ එවැනි වැදගත් ව්‍යවස්ථාමය නඩු කටයුත්තකදී අවසාන ප්‍රතිචාරය වාචිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදයක් වන අතර, මෙහිදී පෙත්සම්කරුවන්ට ඒ වෙනුවට ලිඛිත කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දීම අසාමාන්‍ය හා කනගාටුදායක තත්ත්වයක් බවයි.