මේ වසර තුළ ජල ගාස්තු ඉහළ යන්නේ නැහැ ;සංශෝධනයක් ගැන සලකා බලන්නේ ලබන ජනවාරියේදී

මෙම වර්ෂය තුළ කිසිදු ආකාරයකින් ජල ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා පවසයි.මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ව්‍යාපෘති සම්බන්ධ විශේෂ සමාලෝචන රැස්වීමක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවති අතර, ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජල ගාස්තු සංශෝධනයක් සිදු විය යුතු නම් ඒ සම්බන්ධ සමාලෝචනයක් සිදුවන්නේ ලබන වර්ෂයේ ජනවාරි මසදී බවයි.සාමාන්‍යයෙන් වසරකට දෙවරක්, මාස හයකට වරක් ජල ගාස්තු සමාලෝචනය කරන ක්‍රමවේදයක් පවතින අතර, මේ වසරේ මුල් මාස 6 සඳහා ද ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට රජය පියවර ගෙන තිබුණි.ඒ අනුව ජූලි 01 සිට දෙසැම්බර් 31 දක්වා ඉදිරි මාස 06 ක කාලය තුළ ද ජල ගාස්තු පෙර පැවති මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වසරේ මුල් මාස හය තුළ ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු නොවීමයි. එම පිරිවැය කළමනාකරණය කරගැනීමට හැකිවීම හේතුවෙන් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ පැන නොනගින බව ඔහු පවසයි.විදුලි ගාස්තු 18% කින් ඉහළ ගියද, ජල නිෂ්පාදන පිරිවැයට එහි බලපෑම ඉතා සීමිත බවත්, සමස්ත ජල නිෂ්පාදන පිරිවැයෙන් විදුලිය සඳහා වැයවන්නේ 12% ක් පමණක් බවත්, එක් ජල ඒකකයකට එම බලපෑම රුපියල් 2.50 ක පමණ අගයක් බවත් අමාත්‍යවරයා මීට පෙර පැහැදිලි කර තිබුණි.මෙම සමාලෝචන රැස්වීමේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතන විසින් සම්පාදනය කරන ජල සැපයුම සහ අදාළ ආයතනයන් සතු ජල ව්‍යාපෘතිවල තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.ජල සම්පාදනය, නඩත්තු සහ ඉදිකිරීම් සඳහා මහනුවර දිස්ත්‍රික්කයට මෙම වර්ෂයේදී රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් වී ඇති බවත්, අඩාල වී ඇති ජල ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.සංවර්ධනය විය යුතු ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා වූ බවත්, ව්‍යාපෘති කිහිපයක් සඳහා අමාත්‍යාංශයේ විශේෂ මැදිහත්වීම ලබා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.මහනුවර වැනි ප්‍රදේශයකට ජල ව්‍යාපෘති සම්බන්ධ ගැටලුවලදී කඩිනම් විසඳුම් ලබාදීම අසීරු වන බැවින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් කරා යොමු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.එල් නීනෝ ආපදා තත්ත්වයේ කිසිදු බලපෑමක් මහනුවරට එල්ල වී නොමැති නමුත් ඊට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයන්ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කාලීන පුවත්