ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි නම දෘශ්‍යම්. මලයාලම් චිත්‍රපටයක් වූ එහි ප්‍රධාන චරිතය රඟපෑවේ එම සිනමාවේ දැවැන්තයකු වන මෝහන්ලාල්.

දෘශ්‍යම් චිත්‍රපටය ඇසුරෙන් තවත් භාෂා කිහිපයකින්ම චිත්‍රපට නිශ්පාදනය වූ අතර අජේ දේව්ගන් රඟ පෑ හින්දි චිත්‍රපටයත් අතිශයින් ජනප්‍රිය වුණා.

දෘශ්‍යම් ලැබූ ජනප්‍රියත්වය නිසාම එහි දෙවැනි කොටසකුත් නිර්මාණය කෙරුණා. එයත් සිනමාලෝලීන් වසඟයට ගැනීමට සමත් වූ බව රහසක් නොවෙයි. මෙම දෙවැනි කොටස ඇසුරෙනුත් සිංහල චිත්‍රපටයක් නිර්මාණය වන බව පැවසෙනවා. එහි ප්‍රධාන චරිත රඟපාන්නේ බිමල් ජයකොඩි, දිල්හානි සහ කුසුම් රේණු.

කෙසේ හෝ වේවා දෘශ්‍යම් චිත්‍රපට රසවිඳි ප්‍රේක්ෂකයන්ට මේ වනවිට ඉතා සතුටුදායක ආරංචියක් අසන්නට ලැබෙනවා. එනම් මෙම චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක් ද නිශ්පාදනය කිරීමේ සූදානමක් ඇති බව යි.

මුල් මලයාලම් චිත්‍රපට දෙකේ තිරනාටක ලියා අධ්‍යක්ෂණය කළ ජීතු ජෝසෆ්ම යි මේ චිත්‍රපටයත් නිර්මාණය කරන්නේ. තමා මේ වනවිට මෙහි තිරනාටකයේ කටයුතු අවසන් කරමින් සිටින බව පසුගිය දිනෙක ඔහු මාධ්‍ය සමග පවසා තිබුණා. දෘශ්‍යම් 3 හි රූගත කිරීම් ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක් නිර්මාණය වන බව දැනගත් විට පළමු චිත්‍රපට නැරඹූ සිනමාලෝලීන් බොහෝ දෙනෙකු පුදුමයට පත්ව තිබූ බවකුත් දැකගන්නට ලැබුණා. මුල් චිත්‍රපට අවසන් වූයේ තවත් කොටසකට ඉඩ නොතබා බවයි පෙනෙන්නට තිබුණේ. ඒ නිසා තුන්වැනි කොටසේ කතාව ගොඩනැගෙන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට සිතා ගැනීමට අපහසු වුණා. නමුත් දක්ෂ කතා රචකයකු සහ අධ්‍යක්ෂවරයකු වන ජීතු ප්‍රේක්ෂකයන් විමතියට පත් කරන නිර්මාණයක් බිහි කරනු ඇති බවට සැකයක් නැහැ. මෙම තත්වය තුළ දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ රසිකයන් ඉතා නොඉවසිල්ලෙන් සිටින ආකාරය දැකගන්නට පුලුවන්.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන මෝහන්ලාල් මෙයට ටික දිනකට පෙර ශ්‍රී ලංකාවටත් පැමිණියා. ඒ වෙනත් චිත්‍රපටයක රූගත කිරීමකට සහභාගි වීම සඳහායි. දින කිහිපයක් මෙරට රැඳී සිටි ඔහු ශ්‍රී ලංකාවේ පර්ලිමේන්තු සැසියක් නැරඹීමට පවා ගොස් සිටියා.

ශ්‍රී ලකාවේ රූගත කරන මෝහන්ලාල්ගේ චිත්‍රපටය ඉතා විශාල වියදමක් දරා නිපදවන දැවැන්ත නිර්මාණයක් බවයි සඳහන් වන්නේ. මම්මුති, නයන්තාරා, රේවති වැනි දකුණු ඉන්දියානු සිනමාවේ තවත් ප්‍රකට නළු නිළියන් රැසක් මෙහි චරිත නිරූපනය කරනවා.

මෝහන්ලාල් දැනට රඟපාමින් සිටින මේ චිත්‍රපටවල කටයුතු අවසන් වීමෙන් පසු දෘශ්‍යම් 3 හි රූපගත කිරීම් ආරම්භ කිරීමට යි සැලසුම් කර තිබෙන්නේ.

අජේ දෙව්ගන් රඟපාන දෘශ්‍යම් 3 හින්දි චිත්‍රපටයේ රූපගත කිරීම් ද ඔක්තෝබර් මාසයේ ම ආරම්භ කිරීමට යොදාගෙන ඇති බව වාර්තා වෙනවා. මලයාලම් චිත්‍රපටයේ තිරනාටකය ලියා අවසන් කිරීමෙන් පසු එය හින්දි චිත්‍රපටයේ නිශ්පාදන කණ්ඩායමට ද ලබා දෙන බවත්, ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ට සහ සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් වෙනස්කම් සිදුකර ඔවුන් රූපගත කිරීම් ආරම්භ කරනු ඇති බවත් ජීතු ජෝසෆ් පසුගිය දිනෙක සඳහන් කර තිබුණා.

දෘශ්‍යම් 3 තෙලිගු චිත්‍රපටයේ වැඩකටයුතුත් මේ සමගම ආරම්භ වනු ඇති බව වාර්තා වෙනවා. මේ චිත්‍රපට තුනම එකම දිනයක ප්‍රදර්ශණය සඳහා මුදා හැරීමට බලාපොරොත්තු වන බවත් ජීතු ප්‍රකාශ කරනවා. එකිනෙකට වෙනස් දිනවල ප්‍රදර්ශණය ආරම්භ කරන විට පසුව තිරගත කරන චිත්‍රපටවලට සිදුවන අවාසිය මග හැර ගැනීමටයි මෙවැනි පියවරක් අනුගමනය කරන්නේ. දෘශ්‍යම් 3 ඇසුරෙන් ඉදිරියේ දී සිංහල චිත්‍රපටයකුත් නිර්මාණය වනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

දෘශ්‍යම් චිත්‍රපටවලට පසුබිම් වන්නේ සිය දියණිය අතින් අනපේක්ෂිත ආකාරයෙන් සිදු වූ මිනීමැරුමක් හෙලි වීම වැලැක්වීමට පියෙකු ගන්නා උත්සාහය පිළිබඳ කතාවක්. ඉතාම කුතුහලය දනවන ආකාරයෙන් මෙම චිත්‍රපටවල කතා ගොඩ නැගීමට නිර්මාණකරුවන් සමත් වී තිබුණා.

දෘශ්‍යම් පළමු චිත්‍රපටය ජපාන සිනමාපටයකින් ආභාසය ලැබූවක් බවත් පැවසෙනවා. එහි නම Suspect X. දෘශ්‍යම් චිත්‍රපටය නිර්මාණය කිරීමේ දී ඇතැම් සත්‍ය සිදුවීම්වලින් ද යම් ආභාසයක් ලැබුණු බව ජීතු ජෝසෆ් සඳහන් කර තිබුණා.

දෘශ්‍යම් පළමු මලයාලම් චිත්‍රපටය තිරගත වුණේ 2013 වසරේ යි. ප්‍රේක්ෂකයන් වසඟයට ගැනීමට ඊට හැකි වූ අතර එම වසරේ වැඩිම ආදායම් ඉපැයූ මලයාලම් චිත්‍රපටය බවටත් වුණා.

මේ චිත්‍රපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමේ අදහසක් ජීතු ජෝසෆ් තුළ නොතිබුණු බවයි සඳහන් වන්නේ. නමුත් චිත්‍රපටය සාර්ථක වීමත් සමග එම යෝජනාව කර තිබුණේ චිත්‍රපටයට මුදල් යෙද වූ නිශ්පාදකයින්.

නිහාල් පීරිස්

රසගඟුල