ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල් සිට කිලෝ මීටර් 700ක් ගිනිකොණ දෙසින් අක්ෂාංශ 4.9°N සහ දේශාංශ 87.4°E ආසන්නයේ කේන්ද්‍ර ගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟවනු ඇතැයි අපෙක්ෂා කෙරේ. මෙම පද්ධතිය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින අතර එහි බලපෑමෙන් අද සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ.එබැවින් අද සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන ගැඹුරු නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින්නැයි ද දැනුම් දෙයි.