යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?”
​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ ආතුර පන්දලම දෙසින් දක්නට ලැබෙන ඒ අමුතු රූපයෙන් කිසිදු හාවක් හූවක් නැත. ඒ, මෙම තොවිලය හා සම්බන්ධ යක්ෂයාගේ පැමිණීමේ අවස්ථාවයි. එම භූමිකාව නිරූපණය කරනුයේ ද පහතරට ශාන්තිකර්ම සම්බන්ධ මනා පරිචයක් සහිත නර්තන ශිල්පියෙකි.යක්ෂ මුහුණකින් හා කාල වර්ණ දේහයකින් යුතු අමනුෂ්‍යයකු බව අතිශයින් පැහැදිලි ය.
​“ඔය කවුද? කියාපන්!”
​ඊළඟට ගුරුන්නාන්සේ අසනුයේ කිසියම් තර්ජනාත්මක ස්වරූපයකිනි.
​“කවුද ගුරුන්නාන්සේ ‘කළුද?’ කියලා ඇහුවේ? මේ මමද?”

​එවිට එම රූපය ද හාත්පස නිහඬතාව සිඳබිඳ දමමින් අසනු සැමට ඇසෙයි. ඉන්පසු ඔවුන් දෙදෙනා අතර ඇති වන සංවාදය මෙලෙසිනි:

​ගුරුන්නාන්සේ: මං ඇහුවේ “ඔහේ කවුද?” කියලා මිසක් “කළුද?” කියලා නෙවෙයි.
​යක්ෂයා: ඒ වුණාට හැමෝම කියන්නේ මං කළුයි කියලනේ ගුරුන්නාන්සේ. මෙහේ අර මොනවද ක්‍රීම් ජාතියක් තියෙනවලු නේද ගාපු ගමන් සුදු වෙන?
​ගුරුන්නාන්සේ: ඒ සැරේ ඔහේත් මූණ තම්බා ගන්නය හදන්නේ?ඔහේ කළු හරි සුදු හරි දැන් පොඩ්ඩක් ඉස්සරහට එමු. මොකද ඉස්සරහට එන්න ඔහේගේ හතර හන්දි පණ නැතෙයි? මං හිතන්නේ ඔහේ කොල්ලෙක් වෙන්න ඕනෑ නෙව.
​යක්ෂයා: හත් වලාමයි! මම කොල්ලෙක් වෙන්නේ කොහොමෙයි ගුරුන්නාන්සේ? කළු වුණාට කුමාරයෙක් නොවෑ!

​ගුරුන්නාන්සේ: මං ඇහුවේ “ඔහේ කවුද?” කියලා මිසක් “කළුද?” කියලා නෙවෙයි.

​යක්ෂයා: ඒ වුණාට හැමෝම කියන්නේ මං කළුයි කියලනේ ගුරුන්නාන්සේ. මෙහේ අර මොනවද ක්‍රීම් ජාතියක් තියෙනවලු නේද ගාපු ගමන් සුදු වෙන?

​ගුරුන්නාන්සේ: ඒ සැරේ ඔහේත් මූණ තම්බා ගන්නය හදන්නේ?ඔහේ කළු හරි සුදු හරි දැන් පොඩ්ඩක් ඉස්සරහට එමු. මොකද ඉස්සරහට එන්න ඔහේගේ හතර හන්දි පණ නැතෙයි? මං හිතන්නේ ඔහේ කොල්ලෙක් වෙන්න ඕනෑ නෙව.

​යක්ෂයා: හත් වලාමයි! මම කොල්ලෙක් වෙන්නේ කොහොමෙයි ගුරුන්නාන්සේ? කළු වුණාට කුමාරයෙක් නොවෑ!

​කාන්තාවන් සම්බන්ධයෙන් බලපාන බවට ජන සම්මතයේ පවතින ‘කළු කුමාර දෝෂය’ නම් වන කායික හා මානසික ව්‍යාකූලත්වය උදෙසා පැවැත්වෙන ‘කළු කුමාර සමයම’ යනු පහතරට යක් තොවිල් අතර ප්‍රධාන තැනක් හිමි කරගත් ශාන්තිකර්මයකි. අද වන විට බෙන්තර, මාතර සේම රයිගම්, සබරගමු හා මිශ්‍ර සම්ප්‍රදායන් වශයෙන් ව්‍යාප්ත වී ඇති කළු කුමාර ශාන්තිකර්මය, රාත්‍රියේ පෙරයම ආරම්භ වී පසුදින හිමිදිරිය දක්වා පැවැත්වෙන්නකි.
​හැන්දෑ සමයම, මැදියම් සමයම සහ අලුයම සමයම වශයෙන් මෙම ශාන්තිකර්මයේ සන්දර්භය හෙවත් පෙළ සකස් වී තිබේ. හැන්දෑ සමයමේ දී පවත්වන වත්පිළිවෙත් අතරට, ඒ ඒ පළාත්වල ඇදුරන් තමන්ට ආවේණික චාරිත්‍ර සහ පූජා විධි අනුව මුලින්ම තෙරුවන් සිහි කර නමස්කාර කොට යක්ෂයන්ට ආරාධනා කිරීම සිදු කරනු ලබයි. එසේ කරන්නේ යකුන් ආකර්ෂණය කෙරෙන පිදේනි තටු තබමිනි.

​කළු කුමාර ශාන්තිකර්මයෙන් පුද ලබන කළු කුමාර යක්ෂයා සම්බන්ධ වත්පිළිවෙත් මැදියම් සමයමේ ආරම්භ කෙරේ. ඒ මැදියම් දොළහ පසුවන විටදී ය. එම පුද පූජා අවසන් කළ පසු යක්ෂයාට ඇරයුම් කෙරෙමින් අලුයම සමයමේ දී දිගටම කවි ගායනා කරමින් වත්පිළිවෙත් කරන විට, කළු කුමාර යක්ෂයා පැමිණෙන ආකාරය අතිශය නාට්‍යමය ස්වරූපයකින් ඉදිරිපත් වීම සුවිශේෂත්වයකි.
​කළු කුමාර සමයමකදී හෝ තොවිලයකදී, කළු කුමාර දමනය සඳහා ඇදුරා හෙවත් ගුරුන්නාන්සේ සහ කළු කුමාර යක්ෂ වේශධාරී නළුවා අතර ඇති වන දෙබස ඉතා රසවත් මෙන්ම නාට්‍යමය අවස්ථාවකි. මෙහිදී ගුරුන්නාන්සේ බලහත්කාරයෙන් හෝ තර්ජනාත්මකව යක්ෂයා මෙල්ල කිරීමට උත්සාහ කරන අතර, තම අනන්‍යතාව පිළිගත් කළු කුමාර යක්ෂයා පසුව විවිධ උජාරු කතා පවසමින් එයට ප්‍රතිචාර දක්වයි.

​ගුරුන්නාන්සේ: “එම්බා කළු කුමාරය! මේ අහිංසක තරුණියට වින කරන්න තොට බලය දුන්නේ කවුද? බුදුන්ගේ අණ තෙද ඇති මේ භූමියේදී තෝ එය නොවලහා කියව!”

​කළු කුමාරයා: “ඈ බොල ගුරුන්නාන්සේ… මම කාගෙන් අවසර ගන්නද? මම රෑ දොළොස් පැයේ වනේ සැරිසරන කළු කුමාරයා! මට ඇහැකි වෙලාවට මම එනවා. මේ කෙල්ලගේ රූපයට මම වසඟ වුණා. මම මේකිව අත්හරින්නේ නැහැ!”

​ගුරුන්නාන්සේ: “තොට අමතක වුණාද බුදු රශ්මියට තියෙන බලය? මහා සම්මත රජ්ජුරුවන්ගේ අණ? මේ ආතුර තරුණියගේ ඇඟෙන් තොගේ දෘෂ්ටිය අහක් කරපිය! නැත්නම් මම තෝව පරසක්වල ගසනවා!”

​කළු කුමාරයා: “ඔහේගේ කටට මම බය වෙයි කියලා ඔහේ හිතනවය? ගුරුන්නාන්සේ, මම මල් යහන්වල ලගින, විල් තෙරේ සැරිසරන කුමාරයෙක්. මම මේ කෙල්ලව අතහරින්නේ නැහැ. හිතුණොත් මට දැන් ඔහේලගේ ගෙවල් පැත්තෙත් ගිහින් එන්න ඇහැකි. තේරුණාද? ඔහේ දන්නවය මට දැන් අලුත් ‘ජුණ්ඩා’ එකකුත් තියෙනවනේ.”

​ගුරුන්නාන්සේ: “එහෙම නම් ඉතින් ඔහෙගෙ ඔය ‘ජුණ්ඩා’ එක අපේ ගෙදර තියලා තමයි එන්න වෙන්නේ. ඔහේ දන්නෙ නෑ අපේ හාමිනේගේ හැටි.මම අපේ හාමිනේ ගෙන් මගෙ මේ මගේ ජුන්ඩා එකත් පරිස්සම් කරගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන්! අනික අපේ ගෙදර හොඳට මුවහත තියෙන මන්නෙකුත් තියෙනවා.”

​කළු කුමාරයා: “ඉතින් මම මගේ ‘ජුණ්ඩා’ එක එහේ තියලා එන්නේ කොහොමෙයි? ඒ මගේ බයික් එක නොවැ.”

​ගුරුන්නාන්සේ: “හත් වලාමයි, එතකොට ඔහේ ඔය ‘ජුණ්ඩා’ එක කියන්නේ ‘හොණ්ඩා’ කියන එකටය?”

​කළු කුමාරයා: “එහෙනම් ගුරුන්නාන්සේ මට රම්පෙට පොරි වෙන්න නර බිල්ලක් දීපන්… එතකොට මම මේකිව දාලා යන එක ගැන හිතලා බලන්නම්.”

​ගුරුන්නාන්සේ: “මම ඔහේට නර බිල්ලක් තියා නරි බල්ලෙක්ව වත් දෙන්නේ නැහැ! මෙන්න මහා සම්මත රාජ අනින් ඔහේට අයිති ‘පිදේනිය’. මේ පුළුටු, මේ මල්, මේ කැවිලි අරගෙන ඔහේගෙ පරිවාර ජනයා එක්ක යන එකයි ඇත්තෙ එතකොට මේ කෙල්ලට තිබෙන බැල්ම අදින් පස්සේ ඉවරෙටම ඉවරයි.”

​මෙසේ නිරන්තරයෙන් ගුරුන්නාන්සේ සමඟ වාදයක පැටලෙන කළු කුමාරයා, බුදුන්ගේ අණ තෙද, බුද්ධ රශ්මිය සේම මහා සම්මත රජ්ජුරුවන්ගේ අණ හමුවේ තමන් දුබලයකු බව පිළිගන්නට සිදු වෙයි. “හොඳයි ගුරුන්නාන්සේ,මහා සම්මත රජ්ජුරුවන්ගෙ රාජ අනටත් උඹේ ඔය මන්ත්‍ර බලයටත්, මට දුන්න ඔය පිදේනියටත් ගරු කරලා මම එහෙනම් යනවා” යනුවෙන් එවිට කළු කුමාරයා පවසත්ම, ගුරුන්නාන්සේ ද “එහෙනම් ලකුණක් තියලම පලයන්” යැයි යකුට දන්වා සිටීම සාමාන්‍ය සම්ප්‍රදායකි. මෙහිදී මුල සිටම ගුරුන්නාන්සේ භාවිතා කරන්නේ අණ දෙන සුළු, ගම්භීර භාෂාවකි. යක්ෂයාගේ භාෂාව රළු සහ උජාරු සහගත ය. නමුත් ශාන්තිකර්මය අවසානයේ ගැටලුව සමනය වන අතරේ දෙදෙනාම සන්සුන් හා සංයමශීලී ලෙස බස හසුරුවනු දක්නට ලැබේ.

​පහතරට යක් තොවිල් සම්ප්‍රදාය තුළ එම ශාන්තිකර්මය හා සම්බන්ධ කළු කුමාරයා සබයට පිවිසෙන ආකාරය කෙතෙක් විචිත්‍රවත් ද කිවහොත්, එය එදා මෙදා තුර ලියැවුණු කිසිදු නාට්‍ය පිටපතකට නොදෙවැනි දෙබස් ඛණ්ඩයක් විය යුතු යැයි මට සිතෙයි. මෙලෙස පහතරට ශාන්තිකර්ම හෙවත් යක් තොවිල්වලදී සබයට පැමිණෙන යකුන් තුළ බහුල වශයෙන් දක්නට ලැබෙන පොදු ලක්ෂණ කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය.

​ඉන් පළමු ලක්ෂණය වනුයේ යක්ෂයා තම අනන්‍යතාව සැඟවීමට දරන උත්සාහයයි. පසුව ගුරුන්නාන්සේ විසින් කෙසේ හෝ ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගත් පසු, භාෂාත්මක උපක්‍රම හෙවත් වර්ණ විපර්යාස (Spoonerism) යොදමින් පලා යාමට වෙර දැරීම බොහෝ යකුන් සම්බන්ධ පොදු ලක්ෂණයකි. යක් තොවිල්වල දක්නට ලැබෙන මෙවන් ප්‍රයෝග කෙතරම් නාට්‍යෝචිත යත්, සිංහල වේදිකා නාට්‍ය කලාවේ සුවිශේෂ භූමිකාවක් හිමි කරගත් දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද “මධුර ජවනිකා” නාට්‍යයේ එන දෙවොල් මඩුව ශාන්තිකර්මයේ ‘සීනිගම් පටුන’ නම් ජවනිකාව ඊට කදිම නිදසුනක් සපයයි.එය ශාන්ති කර්මයක ඇදුරා සංකේතනය කෙරෙන කථක සහ දෙවොල් දෙවියන් යටතේ සේවය කරන කුරුම්බරයන් අතර ඇති වන සංවාදයකි.

කලු කුමාර ශාන්ති කර්මය

​කුරුම්බරයා: මේ, අපේ දෙවොල් සාමින් වහන්සේගේ නැව් හතම කුණාටුවකට අහුවෙලා පොඩි පට්ටම් වුණා. උන්නාන්සේ ලෑලි බදාගෙන සීනිගම් වෙරළට පීනනවා. කරුණා කරලා උන්නාන්සේලා බේරගන්න උදව් වෙනවාද?

​කථක: මොනවා? ලේලි බදාගෙන පීනනවා!

​කුරුම්බරයා: ඔව්, ලෑලි තමයි. නැව් සේරම ගල්වල හැප්පිලා. සේරම ලෑලි ලෑලි වෙලා.

​කථක: ඒ ගමන ලේලි ලේලි වෙලාලු! මොනවාද මේ කතා කරන්නේ? කොහේ ඉඳලද එන්නේ?

​කුරුම්බරයා: අපි එන්නේ වේර දේසේ ඉඳලා. ඒ කියන්නේ කේරළේ. එහෙමත් නැත්නම් කොච්චින් දේසේ.

​කථක: ඉතින් කොච්චින් දේසේ ඉඳලා හරි මොන දේසේ ඉඳලා හරි ලංකාවට එන්නේ පාස්පෝට්, වීසා අරගෙනද?

​කුරුම්බරයා: අපේ පාස්පෝට් මේ හැම තැනම තියෙනවා.

​කථක: කොහේද?

​කුරුම්බරයා: මේ ගස්වල.

​කථක: ගස්වල කිව්වේ?

​කුරුම්බරයා: මේ පොල් ගස්වල.

​කථක: පොල් ගස්වල? පොල් ගස්වල පොල් ගෙඩි, හනසු ආදිය මිසක් පාස්පෝට් ගැන නම් අපි අහලා නැහැ.

​කුරුම්බරයා: පොල් ගෙඩි තමයි. ඒක තමයි අපේ පාස්පෝට් එක. බොහොම ඉස්සර කාලේ අපේ වෙරළේ ඉඳලා පොල් ගෙඩි මුහුදේ පාවෙලා ඇවිදින් ලංකා වෙරළේ එව්වා හැදුණා.

​කථක: හා හා… ඒ අයිතිවාසිකම් කියන්නයි එහෙනම් මේ මාමලා මේ ලෑලි බදාගෙන මේ රටට පීනන්නේ?

​කුරුම්බරයා: මාමලා නෙවෙයි, අපේ දෙවොල් සාමින්ගේ නැව් කැඩිලා ලෑලි බදාගෙන පීනනවා.

​කථක: හා හා… මේ නැව් කැඩිලා ලෑලි බදාගෙන පීනනවා. දැනුයිනෙ මට තේරුණේ.
​(උපුටා දැක්වීම අවසන්)

අප රටේ සියලු ශාන්තිකර්ම උඩරට, පහතරට හා සබරගමු වශයෙන් සම්ප්‍රදායන් තුනකට බෙදා මීට දශක කිහිපයකට පෙර සිදු කොට ඇති නිර්වචන, මේ දක්වාත් පාසල් පෙළ පොත්වලට පවා ඇතුළත් කොට තිබේ. එහෙත් ඒ සම්බන්ධ ප්‍රායෝගික හා ස්ථානීය විමර්ශනවලදී මනාව පැහැදිලි වන කරුණක් නම්, මේ වන විට ප්‍රායෝගික තලයේදී ඉහත සඳහන් සම්ප්‍රදායන් තුළ ඇති පිරිසිදු අමිශ්‍ර ස්වභාවය වියැකී ගොස්, ඒවා තුළින් සංකර ලක්ෂණ (Hybrid Characteristics) ඉතා පැහැදිලිව විද්‍යමාන වීමයි. ඒ අනුව රජය විසින් මේ වන විට සිදු කරමින් පවතින නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාව යටතේ මෙවන් විෂයයන්හි ඇති යල් පැනගිය ස්වභාවය ඉවත් කොට, ඒවා ද කාලානුරූපී ලෙස යාවත්කාලීන කළ යුතු යන්න අපගේ වැටහීමයි.

​මේ හැරුණු කොට, යක්ෂයන් යනු මිනිසුන් මෙන් ශිෂ්ටාචාරගත නොවූවන් බව තහවුරු කිරීම පිණිස ගුරුන්නාන්සේ සමඟ සිදු කරන සංවාදයේදී අසභ්‍ය ව්‍යවහාර හා දෙපිට කැපෙන වදන් භාවිතය ද දැකිය හැකිය. මෙය මහසොහොන් සමයම, රට යකුම හෙවත් රිද්දි යාගය, සන්නි යකුම ආදී පහතරට ශාන්තිකර්මවල අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර, නිවාසවල දෝෂ, ඇස්වහ කටවහ ආදිය දුරු කෙරෙන ‘පිළී තොට’ හා ‘රදා තොට’ යන අවස්ථාවලට ද අදාළ වේ. රීරි යකුම යනු වඩාත්ම අසභ්‍ය හා දෙපිට කැපෙන වදන් සහිත ශාන්තිකර්මය බව මගේ පෞද්ගලික වැටහීමයි. එමෙන්ම ඉහත සඳහන් ආකාරයේ නාට්‍යමය අංගවලින් සපිරි යක් තොවිල්, පුද්ගල හා ප්‍රජා වශයෙන් පවත්නා මානසික ව්‍යාකූලතා සමනය කොට කායික මානසික සංහිඳියාව තහවුරු කිරීම පිණිස යොදා ගත් මනෝරංග (Psychodrama) විශේෂයක් බව ඉඳුරාම කිව හැක.

​නමුත් අප රටේ සියලු ශාන්තිකර්ම උඩරට, පහතරට හා සබරගමු වශයෙන් සම්ප්‍රදායන් තුනකට බෙදා මීට දශක කිහිපයකට පෙර සිදු කොට ඇති නිර්වචන, මේ දක්වාත් පාසල් පෙළ පොත්වලට පවා ඇතුළත් කොට තිබේ. එහෙත් ඒ සම්බන්ධ ප්‍රායෝගික හා ස්ථානීය විමර්ශනවලදී මනාව පැහැදිලි වන කරුණක් නම්, මේ වන විට ප්‍රායෝගික තලයේදී ඉහත සඳහන් සම්ප්‍රදායන් තුළ ඇති පිරිසිදු අමිශ්‍ර ස්වභාවය වියැකී ගොස්, ඒවා තුළින් සංකර ලක්ෂණ (Hybrid Characteristics) ඉතා පැහැදිලිව විද්‍යමාන වීමයි. ඒ අනුව රජය විසින් මේ වන විට සිදු කරමින් පවතින නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාව යටතේ මෙවන් විෂයයන්හි ඇති යල් පැනගිය ස්වභාවය ඉවත් කොට, ඒවා ද කාලානුරූපී ලෙස යාවත්කාලීන කළ යුතු යන්න අපගේ වැටහීමයි.

​තිලක් සේනාසිංහ (සිළුමිණ)

ඉරා අදුරුපට