
ජපානයේ අගමැතිනිය වන සනායේ තකායිචි පිලිබඳ එක් ප්‍රසිද්ධ කාරණයක් වන්නේ ඇය “ඩ්‍රම්ස් වාදනය කරන අගමැතිනියක” බව යි. ඇය පසුගිය කාලයේ මාධ්‍ය තුළ ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වන්නට තවත් හේතුවක් වූයේ ජපාන ඉතිහාසය තුළ අගමැති ධුරයට පත් පළමු කාන්තාව වීම ය.
කෙසේ නමුත් දේශපාලනයට පිවිසීමට පෙර තකායිචි ඇගේ තරුණ කාලයේ සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදන ශිල්පිනියක ලෙස කටයුතු කර තිබුණාය. ඇය අගමැති ධුරයට පත් වූ කාලයේ මේ කාරණයට මාධ්‍ය තුළින් විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර විශේෂයෙන් තරුණ පරපුර තුළ ඇය පිලිබඳ ප්‍රසන්න හැඟීමක් ඇති කරන්නට එයට හැකි වූ බව පෙනිණි.
පසු කාලයේ තකායිචි වෘත්තීය ඩ්‍රම්ස් වාදනයෙන් ඉවත් වුවත් තවමත් විනෝදාංශයක් ලෙස ඩ්‍රම්ස් වාදනය කරන බව සඳහන් වේ. ඇයගේ අගමැති නිල නිවස තුළ ද ඉලෙක්ට්‍රොනික ඩ්‍රම්ස් කට්ටලයක් ඇති බව සඳහන් ය. මානසික වෙහෙස නිවාගැනීම සඳහා බොහෝ විට තමා ඩ්‍රම්ස් වාදනයේ නිරත වන බව ඇය පවසා තිබුණාය. තකායිචි ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන නායිකාවක ලෙස ද ප්‍රසිද්ධියක් උසුළයි.
කෙසේ හෝ වේවා මෙම ලිපිය ඇගේ ඩ්‍රම්ස් වාදනය ගැන කතා කරන ලිපියක් නොවේ. ඒ ගැන කෙටියෙන් සඳහන් කළේ ඇය අපූරු චරිතයක් බව පෙන්වා දීම සඳහා ය.
මෙම ලිපිය ඇය පසුගියදා දේශපාලන ක්ෂේත්‍රය තුළ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් පිලිබඳ ලිපියකි. සංගීතයට මෙන්ම තකායිචි දේශපාලනයට ද, නායකත්වයට ද සුවිශේෂී දක්ෂකම් දක්වන්නියක බව පසුගිය දා පෙන්නුම් කළාය.
පෙබරවාරි 8 වැනි ඉරිදා ජපානයේ මහා මැතිවරණයක් පැවැත්විණි. එහිදී ඇය ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අති විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට “ජපානයේ යකඩ ගැහැනිය” ලෙස ද හැඳින්වෙන තකායිචි සමත් වූවාය.
ඇය මෙම දස්කම දැක්වූයේ පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට පත්ව මාස හතරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ යි.
එමෙන්ම ඇය පක්ෂ නායකත්වයට පත්වෙද්දී එම පක්ෂය තිබුණේ ජනප්‍රියත්වය අතින් ප්‍රපාතයකට ඇදී යමිනි.

කොටින්ම කියතොත් 2024 වසරේ පැවති මෙයට පෙර මැතිවරණයේ දී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එතෙක් ඔවුන් සතුව පැවති පාර්ලිමේන්තු බහුතරය පවා අහිමි විය. ඔවුන් ආණ්ඩු බලය අල්ලාගෙන සිටියේ තවත් පක්ෂයක් සමග සන්ධානගතව බොහෝ අමාරුවෙනි.
නමුත් ඩ්‍රම්ස් වාදනය කරන යකඩ ගැහැනියගේ නායකත්වය යටතේ එම පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් ආසන 315 ක්ම දිනා ගනිමින් තුනෙන් දෙකක සුපිරි බහුතරයක් හිමි කරගන්නට පසුගිය දා සමත් විය.
තකායිචිට කලින් අගමැති ධුරය සහ පක්ෂ නායකත්වය දැරුවේ ෂිගේරු ඉෂිබා යි. සැබැවින්ම පසුගිය ඔක්තෝබරයේ තකායිචිට පක්ෂ නායකත්වය මෙන්ම අගමැති ධුරය ද හිමි වූයේ ඉෂිබා හදිසියේම එම ධුරවලින් ඉල්ලා අස්වීම නිසා ය.
ඉෂිබා එම ධුරවලින් ඉවත් වූයේ ඔහුගේ නායකත්වය යටතේ පක්ෂය ජනප්‍රියත්වයෙන් පිරිහෙමින් තිබූ පසුබිම තුළ යි. පසුගිය කාලයේ පැවති මැතිවරණ දෙකකදීම පක්ෂය විශාල පසුබෑම්වලට ලක් විය. එම තත්වය තුළ ඔහුට ඉල්ලා අස්වන ලෙස පක්ෂය තුළින්ම යම් පීඩනයක් එල්ල වූයේය.
පක්ෂ සාමාජිකයන් විසින් සනායේ තකායිචි නායකත්වයට සහ අගමැති පදවියට පත් කරගන්නා ලද්දේ එයින් පසුව ය. පක්ෂය ඇය කෙරේ තැබූ විශ්වාසය ඉහටත් උඩින් ඉටු කිරීමට දැන් ඇය සමත්ව සිටියි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පසුගිය කාලයේ වැටී සිටි අගාධයෙන් එය ගොඩ ගැනීමට 65 හැවිරිදි මේ අපූරු ගැහැනියට හැකි වී ඇත.
තකායිචි ජනතාව අතර ජනප්‍රිය වීමට ඇය ජපානයේ පළමු කාන්තා අගමැතිනිය වීම ද විශාල වශයෙන් හේතු වී තිබේ. මේ නිසා ඇය සුවිශේෂී කෙනෙකිය යන හැඟීමක් ජපාන ජනතාව තුළ ඇති වී තිබෙනවාට සැකයක් නැත.
පසුගිය 8 වැනි දින පැවති මැතිවරණය තකායිචි පක්ෂ නායකත්වයට සහ අගැමැති ධුරයට පත් වීමෙන් පසු මුහුණ දුන් පළමු මහා මැතිවරණය යි.
තකායිචි ජනතාව අතර ජනප්‍රිය වීමට ඇය ජපානයේ පළමු කාන්තා අගමැතිනිය වීම ද විශාල වශයෙන් හේතු වී තිබේ. මේ නිසා ඇය සුවිශේෂී කෙනෙකිය යන හැඟීමක් ජපාන ජනතාව තුළ ඇති වී තිබෙනවාට සැකයක් නැත.
එමෙන්ම ඇය මෑත කාලයේ ජනතාව පෙලූ ප්‍රශ්න බොහොමයක් විසඳීමේ වැඩපිලිවෙලක් දියත් කර තිබීම ද තකායිචිගේ ජනප්‍රියත්වය ඉහළ යාමට ප්‍රබල හේතුවකි.
මේ වනවිට ජපාන ජනතාව බොහෝ ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විඳිමින් සිටියි. භාණ්ඩ හා සේවා මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින අතර මේ නිසා ජනතාව මත විශාල බරක් පැටවී තිබේ. ජීවන වියදම ඉහළ යන ප්‍රමාණයට වැටුප් වැඩි නොවීම නිසා බොහෝ දෙනා ගෙදර අයවැය කළමනාකරණය කරගන්නේ ඉතා අපහසුවෙනි.
පසුගිය කාලයේ කිලෝ 5 සහල් මල්ලක් යෙන් 4,300 ක් තරම් ඉහළ මිලකට ළඟා විය. එය ලංකා රුපියල් 8,500 ක් පමණ වේ.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආණ්ඩු ජනතාව අතර අප්‍රසාදයට ලක් වීමට ජීවන වියදම ඉහළ යාම ප්‍රධාන හේතුවක් විය.
ජනතාව පෙළන ආර්ථික ප්‍රශ්නවලට යම් යම් විසඳුම් ලබා දීමට තකායිචි පසුගිය කාලයේ පියවර ගත්තාය. ඇතැම් ස්ථරවල පිරිස් ආදායම් බදුවලින් නිදහස් කිරීමටත් ඇගේ ආණ්ඩුව කටයුතු කර තිබිණි. විදුලිය,ගෑස් ආදිය සඳහා සහනාධාර ලබා දීමටත් ඔවුන් පියවර ගෙන තිබේ.
මේ අතර වැටුප් වැඩි කිරීම ඉලක්ක කර ද යම් යම් පියවර ගෙන තිබිණි. බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු අඩු කිරීමට හෝ ඉවත් කිරීමට ඇය පොරොන්දු වී ඇත.

තකායිචි ජනතාව සමග සමීප සන්නිවේදනයක යෙදෙන කෙනෙකු ලෙස ද ප්‍රසිද්ධය. ඇය සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ක්‍රියාකාරී චරිතයක් වන අතර තම දෛනික කටයුතු පිළිබඳ තොරතුරු ඒ ඔස්සේ ඇය ඇගේම වචනවලින් ජනතාව සමග බෙදාහදා ගනියි.
පසුගිය ජනවාරි මාසයේ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං ජපානයේ නිල චාරිකාවක නිරත වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනා එක්ව ඩ්‍රම්ස් වාදනයක නිරත වූහ. මෙම අවස්ථාව තකායිචි ගේ සමාජ මාධ්‍ය පිටුවේ අතිශයින් වයිරල් වූ අවස්ථාවක් වී තිබිණි.
මිලියන 2.7 ක පමණ පිරිසක් ඇයගේ X ගිණුම හා සම්බන්ධව සිටිති. ජපානයේ වෙනත් කිසිදු දේශපාලන නායකයකුට මේ තරම් X රසික පිරිසක් නොමැති බව සඳහන් වේ.
චීනය වැනි රටවලින් එල්ල විය හැකි ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහාත්, පොදුවේ ජාතික ආරක්ෂාව තර කිරීම සඳහාත් තකායිචි පියවර ගනිමින් සිටින අතර මේ නිසා ඇය එඩිතර, ශක්තිමත් නායිකාවකය යන හැඟීම ජනතාව තුළ වඩාත් තහවුරු වෙමින් ඇත. මෙය ද ඇය ගේ ජනප්‍රියත්වය ඉහළ යාමට හේතුවකි.
චීනය වැනි රටවලින් එල්ල විය හැකි ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහාත්, පොදුවේ ජාතික ආරක්ෂාව තර කිරීම සඳහාත් තකායිචි පියවර ගනිමින් සිටින අතර මේ නිසා ඇය එඩිතර, ශක්තිමත් නායිකාවකය යන හැඟීම ජනතාව තුළ වඩාත් තහවුරු වෙමින් ඇත. මෙය ද ඇය ගේ ජනප්‍රියත්වය ඉහළ යාමට හේතුවකි. ජාතික ආරක්ෂාව සඳහා වෙන් කරන ප්‍රතිපාදන වැඩි කිරීමට තකායිචි පසුගිය දිනවල පියවර ගත්තාය.
මැතිවරණයෙන් සුවිසල් ජයග්‍රහණයක් ලබමින් කාලයකට පසු ජපානයේ ඉතා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට සමත් වූ ඇය ජනතාවගේ ජීවිත වඩා පහසු කිරීමටත්, මේ වනවිට පසුබෑමකට ලක්ව ඇති ජපාන ආර්ථිකය නගා සිටුවීමටත් සමත් වේවි ද ?
ජපන් ජනතාව දැන් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ ඒ ගැන ය.
නිහාල් පීරිස්