කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සතුව රුපියල් කෝටි 6.7කට අධික වටිනාකමකින් යුත් නිශ්චල දේපළ පවතින බව ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද නවතම වත්කම් බැරකම් ප්‍රකාශය මගින් අනාවරණය වී තිබේ. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට ප්‍රකාරව සියලු දේශපාලනඥයන් සිය වත්කම් ඉදිරිපත් කළ යුතු පසුබිමක, අමාත්‍යවරයා පසුගිය දෙසැම්බර් මස අවසන් සතියේදී මෙම ප්‍රකාශය භාර දී ඇත. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විසින් සහතික කර ඇති මෙම ලේඛනයට අනුව, අමාත්‍යවරයා සතු නිශ්චල දේපළවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 6.7ක් ලෙස සටහන් වේ.
අමාත්‍යවරයා සිය නිශ්චල දේපළ ලෙස තෑගි ඔප්පු මගින් හිමිවූ රුපියල් මිලියන 06ක් වටිනා පර්චස් 10ක ඉඩමක් සහ වර්ග අඩි 2500ක ගොඩනැගිල්ලක් මෙන්ම, රුපියල් මිලියන 2.5ක් වටිනා පර්චස් 20ක ගෙවත්තක් හා වර්ග අඩි 750ක ස්ථිර ගොඩනැගිල්ලක් ද නම් කර ඇත. මීට අමතරව, රුපියල් මිලියන 56ක වටිනාකමකින් යුත් පර්චස් 14ක ඉඩමක් සහ වර්ග අඩි 4500ක නේවාසික ගොඩනැගිල්ලක් ද, පසු උරුමය යටතේ හිමිවූ රුපියල් මිලියන 2.5ක වටිනාකමින් යුත් වර්ග අඩි 1500ක නේවාසික හා වාණිජ ගොඩනැගිල්ලක් ද ඔහුගේ වත්කම්වලට ඇතුළත් ය.
චංචල දේපළ යටතේ රුපියල් මිලියන 1.6ක් වටිනා රන් පවුම් 08ක්, රුපියල් මිලියන 03ක් වටිනා රන් පවුමක් සහ රුපියල් මිලියන 4.5ක වටිනාකමකින් යුත් මෝටර් රථයක් පිළිබඳව ද එහි සඳහන් වේ. තවද, අමාත්‍යවරයාගේ වාර්ෂික ආදායම් මාර්ග ලෙස රුපියල් 738,918.16ක වැටුපක්, දේපළ බදු දීමෙන් ලැබෙන රුපියල් 400,000ක ආදායමක් සහ ස්ථාවර තැන්පතුවලින් ලැබෙන රුපියල් 2,755,851.97ක වාර්ෂික පොලී ආදායමක් ද වාර්තා කර ඇත. පවතින නීතිමය රාමුවට අනුව පුද්ගලයාගේ පමණක් නොව, කලත්‍රයාගේ සහ යැපෙන දරුවන්ගේ ද වත්කම් ඇතුළත් විය යුතු අතර, අමාත්‍යවරයාගේ මෙම වත්කම් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි.